අපේ ජාතික උරුමයක්‌ වූ
යෝධ ඇළ දිනෙන් දින වනසයි

එප්පාවල - රත්න බී. ඒකනායක



මෙම ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ සිංහල ජාතියේ අපූර්ව උරුමයක්‌ වූ ක්‍රිස්‌තු වර්ෂ 457 දී ධාතුසේන රජතුමා විසින් කලාවැවේ සිට අනුරාධපුර තිසාවැවට දියවර ගෙන යැමට ඉදිකරන ලද "යෝධ ඇළ" පෙතිගසා සුණු විසුණු කර ඇති අන්දමයි. සිංහල ජාතියේ ඓතිහාසික අපූර්ව උරුමයක්‌ වූ යෝධ ඇළ මේ අන්දමට විනාශ කර දැමීම වැළැක්‌වීම සඳහා ඇහැක්‌ ඇර බලන කිසිවකු නැත.

රට ජාතිය වෙනුවෙන් ඇප කැපවූ ධාතුසේන රජතුමා අනුරපුර තිසාවැවේ දිය පිපාසය සංසිඳුවන්නට පමණක්‌ නොව යෝධ ඇළ දෑලේ පැවති ධාතුසේන නිම්නයේ වැව් 358 ක්‌ දියවරෙන් පෝෂණය කොට එම පෙදෙස බතින් බුලතින් සරුසාර කරන්නට, කලාවැවත් ඒ සමගම යෝධ ඇළත් ඉදිකරනු ලැබීය. මේ මහා වාපි සහ වාරි ව්‍යාපෘතියට රාජ්‍ය භාණ්‌ඩාගාරය හිස්‌විය. ධාතුසේන රජතුමා ළඟට රජකම පැතූ එතුමාගේ පුත් කාශ්‍යප ධනය ඉල්ලා සිටිවිට "මා සමග එන්න" යෑයි පුතාට කියා අනුරපුර අගනුවර සිට යෝධ ඇළ බැම්ම දිගේ පිය පුතු දෙදෙනා අසු පිටින් පැමිණ කලාවැව ළඟÊනැවතී... ධාතුසේන රජතුමා කලාවැවට බැස දිය දෝතක්‌ ගෙන ඉහළට විසිකර දමා "මෙන්න පුතේ ඔබ වෙනුවෙන් මා ඉතිරි කළ ධනය" යෑයි කාශ්‍යප පුතාට කියා පෑවිට කෝපාවිෂ්ට වූ කාශ්‍යප සිය පියාණන් කලාවැවේ බැම්මට තබා පස්‌ පුරවා මරා දැමූ බවට අදටත් ජනප්‍රවාදයක්‌ පවතී.

රට හා ජනතාව වෙනුවෙන් ඒ අන්දමට දිවි පූජා කරමින් ධාතුසේන රජතුමන් ඉදිකළ කලාවැව අද ප්‍රයෝජනයට ගන්නා නමුත් එතුමන් ඉදිකළ අපූර්වතම නිර්මාණයක්‌ වූ යෝධ ඇළ මහ ඉලුප්පල්ලමේ සිට බටුවත්ත දක්‌වා සැතපුම් 15 ක දුර ප්‍රමාණය මුළුමණින්ම මහවැලිය මගින් අත්හැර දමා නටබුන් වීමට ඉඩ හැර ඇත. ධාතුසේන රජතුමා සිය ජීවිතය පූජා කොට ඉදිකරන ලද යෝධ ඇළ දෙස අද කිසිවකු ඇහැක්‌ ඇර බලන්නේ නැත.

වරක්‌ වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා 2010 නොවැම්බර්Êමාසයේ දී යෝධ ඇළ හදන්නට මුල පිරූ නමුත් අමාත්‍යාංශය මාරුවී වෙනත් අමාත්‍යාංශයකට යැම හේතුවෙන් යෝධ ඇළ හැදීමේ වැඩය පටන් ගත් තැනම ලොප්වී ගියේය. ඊට පසු අද දක්‌වාම යෝධ ඇළ විනාශ වී යනවා මිස කිසිවෙකු මීට ඇස යොමුකළේ නැත.

යෝධ ඇළ පිහිටා ඇත්තේ උතුරු මැද පළාත් සභා බල ප්‍රදේශය තුළය. සංස්‌කෘතික උරුමයන් පිළිබඳව කටයුතු කිරීමට පත්ව සිටින අමාත්‍ය ජගත් බාලසූරිය මහතා කලක්‌ අනුරාධපුරයේ ආණ්‌ඩුකාරයා ලෙස කටයුතු කිරීම නිසා මෙම යෝධ ඇළ ගැන හොඳින් දනී. යෝධ ඇළේ නිර්මාණ ශිල්පය අස්‌පර්ශ උරුමයක්‌ වුවත් යෝධ ඇළ ස්‌පර්ශ උරුමයකි. නමුත් එවකට අගනුවර වූ අනුරපුර නටබුන් වී ගොස්‌ ඇති අයුරින්ම ධාතුසේන රජතුමාගේ යෝධ ඇළද අද ෙ€දවාචකයක්‌ ලෙස නටබුන් වෙමින් පවතී.

අද මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්‌වා වූ ඉපැරැණි යෝධ ඇළ සමහර තැනක තිබුණු තැනවත් සොයන්නට බැරි තරම්ය. සමහර අය යෝධ ඇළ ඉවුර සමතලා කරගෙන ගෙවල් දොරවල් සාදාගෙන ඇත. සමහර අය බුලත්කොටු, කොහිල කොටු, කෙසෙල් කොටු ආදිය යෝධ ඇළ මැද දමාගෙන ඇත. සමහරු යෝධ ඇල අස්‌වද්දා කුඹුරු හදාගෙන ඇති අතර තවත් අය යෝධ ඇළේ ඉවුර කපා ගඩොල් හදති. සමහරු ගෙපොළ පුරවා ගැනීමට පාරවල්වල බොරළු දමා ගැනීමට යෝධ ඇළේ ඉවුර කපා පස්‌ ගෙන යති. මේවා තහනම් කරන්නට හෝ රැකබලා ගන්නට කිසිවෙකුත් නැත. පාළු අම්බලමක හෝ පාළු සොහොන් පිටියක මෙන් එක්‌ එක්‌ අය යෝධ ඇළ විනාශ කර දමති.

මියගිය ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන යුගයේදී කලාවැවේ සිට මහවැලි එච්. කලාපයට දියවර ගෙන යැමට තිබූ ධාතුසේන රජතුමාගේ යෝධ ඇළ නටබුන් වන්නට හැර ඒ වෙනුවට "ජයගඟ" නමින් අලුත් ඇළක්‌ කපනු ලැබීය. යෝධ ඇළ "දියකලි" වල ගිමන් හරිමින් වංගු වංගුවලින් යමින් සැතපුම් 54 ක්‌ දුරට කලාවැවේ සිට තිසාවැව දක්‌වා ගමන් කර ඇත. මේ නිසා යාබද කුඹුරුවලට, වැව්වලට, ගම්මැදිවල අයගේ ස්‌නානයට සතා සීපාවාට වෙනත් අවශ්‍යතාවලට පිරිමහින සේ යෝධ ඇළේ ජලය යොදාගත හැකිවිය. නමුත්

ඡේ.ආර්. ගේ ජයගඟ එක එල්ලේම ගමන් කිරීම නිසා සමහර තැන්වල අඩි පනහ, හැට, හැත්තෑව ගැඹුරින් ජය ගඟ ගලා ගොස්‌ ඇති අතර එවැනි ගැඹුරු තැන් දෙපස ගහකොළ වියළී ළිංවල ජලය හිඳී පානයට, ස්‌නානයට සතා සීපාවාට ජලය ලබාගත නොහැකිව කාන්තාර ස්‌වභාවයක්‌ හටගෙන ඇත.

දේශීය වාරි ශිල්පයේත්, විදේශීය වාරි ශිල්පයේත් වෙනස මෙයයි. නමුත් අපේ රටේ උගතුන් හා නිලධාරීන් යෑයි කියා ගන්නා බහුතරය තවමත් උරචක්‍රමාලය මෙන් බෙල්ලේ ටයිපටිය බැඳගෙන විදේශීය දේ අගය කරන්නාක්‌ මෙන් අපේ වාරි ශිල්පය නටබුන් වන්නට හැර විදේශීය වාරි ශිල්පය බඩ බැඳගෙන සිටින වාරි ශිල්පියෝද වෙති.

කලාවැවට සහ යෝධ ඇළට අරක්‌ ගෙන සිටින කඩවර දෙවියන් බොහෝ බලසම්පන්න යෑයි ප්‍රදේශයේ ජන මතයක්‌ පවතී. පසුගිය කන්න දෙකේදී එක්‌ කන්නයක්‌ වැසිදිය නිසාද, එක්‌ කන්නයක්‌ නියඟය නිසාද පාළුවී ගියහ. යෝධ ඇළ නොහැදීම ගැන සමහර ගොවි සංවිධාන කලාවැවේ කඩවර දේවාලයට ගොස්‌ බාරහාරවී පොල් ගසා පැමිණ ඇත. මේ සියලු පැති ගැන සීරුවෙන් සලකා බලා යෝධ ඇළ තිබූ විදියට හදාදෙන මෙන් ප්‍රදේශවාසීහු බලවතුන්ගෙන් ඉල්ලා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.