ජී. බී. සේනානායක;
සිංහල කෙටි කතාවේ මනෝ විග්‍රහය


ජී.බී. සේනානායක යටත් විජිත බුද්ධිමතෙකි. තවත් අතකින් යටත් විජිත සමයේ සමාජ පසුබිම මතුයේ ගොඩනැඟුණු කතාකරුවෙකි. විශේෂයෙන් අන් බොහෝ විචාරකයන්ගේ මතය සේම ජී. බී. අපේ කෙටි කතා රචනයේ පුරෝගාමියෙක්‌ වන්නේය. මෙම පුරෝගාමිත්වය ජී. බී. හට හිමි වන්නේ ජී. බී. කෙටි කතා ලියූ නිසා නොවේ. ජී. බී. සිය කතා මගින්, සමකාලීන ඔහුගේ කතාකරුවන් අතරින් නූතනවාදී කතා විලාසයේ සීමාවන් සමහර විටෙක ඉක්‌මවාලන්නට උත්සාහ දැරූ හෙයිනි. අප රට තුළ උත්කර්ෂයට නංවනු ලබන ඇන්ටන් චෙකෝෆ් තුළින් උපන් කතා විලාසය නිසා එක්‌තරා ආකාරයකින්

ජී. බී. පිටුපසට තල්ලු කර දමනු ලැබුවේය. එහෙත් ජී. බී. අභ්‍යාසයේ නියෑළුණු විටෙක සාර්ථක කරගත් කතා විලාසයට අනන්‍ය වන කතා ඇන්ටන් චෙකොෆ් පවා විටෙක ලියූ බවක්‌ සමහරු අමතක කර දමති. නිරන්තරව ජී. බී. "වෙසක්‌ පහන" වැනි කතාවක්‌ වර්ණනා කරන විටෙක ජී. බී. ගේම හෘදය වස්‌තුව, ක්‍රෝධය, පුංචි කුමාරිහාමි වැනි කතා අමතක කර දමන්නට අපේ විචාරකයෝ පෙළැඹෙන්නට ඇත්තේ චෙකෝෆ්aගේම දඩයක්‌කාරයා, ඉවනෝච් (Ionych) වැනි කතා කෙරෙහි ඔවුන් තුළ පැවැති අනවබෝධය නිසාද? නැතහොත් එවැනි කතා විමසා ගන්නට අවශ්‍ය ක්‍රමවේදයක්‌ නොතිබුණ නිසා ද යන්න අද දවසේ විමසා සිටීම ජී. බී. ට කරන්නා වූ ගෞරවයකි.

අනෙක්‌ අතට ජී. බී. පමණක්‌ නොව අද දවසේ ද කතා ලියන්නා වූ විශේෂයෙන් කතා කලාවෙන්ම අග්‍රගණයේ කෘති නිර්මාණය කරන්නා වූ කතාකරුවන් වන මාරියේ වර්ගාස්‌ වැන්නෙක්‌ පවා ඉතා විවෘතව සඳහන් කරන සිය ප්‍රමුඛතම ආවේශය ලද කතාකරුවන්ගේ ලැයිස්‌තුව වන ඉසාක්‌ දිනසෙන්, ආර්. එල්. ස්‌ටීවන්සන්, හෙන්රි ඡේම්ස්‌, එඩ්ගා ඇලන්පෝ, ඇල්බටෝ මොරාවියා, .... යන කතාකරුවන්ගෙන් ජී. බී. ද ආභාෂය ලබා තිබුණේය. නැතහොත් අවම වශයෙන් උක්‌ත කතාකරුවන් බොහෝ දෙනෙක්‌ ජී. බී. පසුකාලීනව ලියූ ජීවන සටහන් සමාන කෘතිවල හමුවේ. (විනිවිඳිමි අඳුර, සාහිත්‍ය දර්ශන සිතිවිලි, මම එදා සහ අද) එසේ නම් විචාරක සමාජය මෙම කතාකරුවන් ඇසුරින් ජී. බී. ගොඩනගාගන්නට උත්සාහ කළ කතා වින්‍යාසය තේරුම් නොගන්නේ කුමන සමාජ පසුබිමක ද යන්න ඉතා සියුම්ව විමසා බැලිය යුතු කාරණයකි.

02

ශාස්‌ත්‍රාලයීය සම්මත අධ්‍යාපනයක්‌ නොලබන ජී. බී. වසර කිහිපයක්‌ ලේක්‌හවුස්‌ ආයතනයේ සේවය කොට ඉන් ඉවත් වන්නේ පූර්ණ වශයෙන් කතාකාරයකු වීමේ අවශ්‍යතාවයෙනි. තවත් අතකට සිය ශරීර ස්‌වභාවය පිළිබඳ එක්‌තරා අවතක්‌සේරුවක සිටි ජී. බී. කතා ලිවීම මගින් යම් සමාජයීය අවධානයක්‌ දිනා ගැනීමට උත්සාහ කළ බවක්‌ ජී. බී. ගේම මම එදා සහ අද කෘතිවලින් හෙළි වේ.

ඒ, ජී. බී. පෞද්ගලික පාර්ශ්වයයි. සමාජීය වශයෙන් ජී. බී. මා මුලින් සඳහන් කළ අවතක්‌සේරුව, දුගී බව, ප්‍රාදේශීය වාදය වැනි කාරණා මතම යම් දේශපාලනික ආස්‌ථානයක නොසිටීම හෝ හිතා මතාම මග හැරීම මත, ක්‍රමයෙන් "මිනිස්‌ සිත" විග්‍රහ කිරීම ඉතාම සුවිශේෂ බව කල්පනා කළ බවක්‌ පෙනෙයි. අවසානයේ සමාජයත් මිනිස්‌ සිතත්, යම් ඓතිහාසික චින්තන ප්‍රවාහයක ප්‍රතිඵලය බව වටහා නොගත් නිසා දොa සාර්ථක නව කතාකරුවෙක්‌ වන්නටත්, අවසාන ජීවිත කාලයේදී සාර්ථකව සමාජය කිතිකවා - කුළු ගන්වා ඉදිරිගාමි සංවාදයට කැඳවන කෙටි කතා ලියන්නට ජී. බී. හට නොහැකි වුණේය. මෙකී තත්ත්වය පිළිබඳ ගුණදාස අමරසේකර මහතා 1985 ජනවාරි 13 දින පළමු ජී. බී. සේනානායක ප්‍රභාෂණ කෘතියේ 234 වැනි පිටුවේ සඳහන් කරනු ලබන්නේ මෙසේය.

ජී. බී. සේනානායක සිය නිර්මාණවල යෙදුණේ හතළිස්‌ ගණන්වල අගභාගයේ සහ පනස්‌ ගණන්වලදී බව අප දනිමු. එය මෙරට මැද පංතිය එතෙක්‌ පැවැති දේශපාලන සංවාදයෙන් මෑත් වීමට තැත් කළ මුල් අවධිය වෙයිá සංවාදයෙන් තොර වූ දශකයේ ආරම්භය වෙයි. ඒ පංතියට ඒ වනවිට වුවමනා වී තිබුණේ තමන් විසින් සාදාගත් හිනි මඟෙහි යුහුසුළුව ගොන්නැඟීමයි. නැඟී එන අප්‍රබුද්ධ යුගයක අඳුරු සෙවනැලි ඒ වනවිට ක්‍රමයෙන් හැඩගැසීගෙන එමින් තිබිණ. ජී. බී. සේනානායක සාහිත්‍යකරණයේ යෙදුණේ මෙවැනි වාතාවරණයක්‌ තුළය.

අමරසේකර මහතා සඳහන් කරන්නා වූ සංවාදයේ ස්‌වභාවය කුමක්‌ වුවද, අනියමාර්ථයෙන් ජී. බී. සේනානායක දේශපාලනික චින්තන ප්‍රවාහයක්‌ සමග ගනුදෙනු නොකළ බවට බැලූ බැල්මට මෙහිදී නඟන චෝදනාවේ සත්‍යතාවක්‌ ඇත. එහෙත් කතාකරුවා විශේෂකොට ගෙන විග්‍රහ කරන්නට උත්සාහ දරන්නා වූ "මිනිස්‌ සිත" නැතහොත් චෛතසිකය විවරණය ද හරබරව ගොඩනැඟිය හැකි දේශපාලන සංවාදයක පසුතලය බව අප මේ වනවිට ලෝක මට්‌ටමින් වටහාගෙන හමාරය. එහෙයින් අපට වර්ජිනීයා වුල්ෆ්ගේ The Lady in the looking Glass; A Reflection වැනි කෙටි කතාවක්‌ සමග ටෲමන් කැපොට්‌ගේ Children on their Birthdays කතාව සසඳමින් එරික්‌ ඉලයප්ආරච්චිගේ 'මොරොක්‌කෝ දිනපොත' කෙටි කතාවද වටහා ගත හැකිවාක්‌ මෙන්ම සංවාද මණ්‌ඩපයක්‌ බවට පත් කොට ගත හැක්‌කේය.

03

ජී. බී. සේනානායකගේ කෙටි කතා අතර මෙකී මනස්‌ විෂයෙහි අවධාරණය යොමු කරන කතා විමසා ගන්නට නම්, සරල ලෙස එහිද සමාජීය සංකූලතා පවතින බව වටහා ගැනීමට ඉපැරැණි සාහිත විචාරක ගුරුකුලවලට හසු නොවූ දෘෂ්ටියකට අපට අවධානය යොමු කරන්නට සිදුවෙයි. උදාහරණයක්‌ ලෙස 1963 දී පළමු "මිතුරිය" කෙටි කතා සංග්‍රහයේ සහ "ක්‍රෝධය" කෙටි කතාව ගතහොත් මෙහි කතාව කියන්නාගේ වයස අවුරුදු අටකි. බැලූ බැල්මට මෙහි පෙනී යන්නේ මව සහ පියා විශේෂයෙන් සිය රළු පරළු හැඩි දැඩි සීයාත්, සුන්දර මවත් නිතර දබර කර ගන්නා බවකි. කතාව වපසරිය තුළ ඇත්තේ දිනක්‌ කතා නායකයාගේ මෙකී නිවසට ලොකු කුඩම්මාත් පුංචි කුඩම්මාත් පැමිණ පැය තුනහතරක්‌ ගතකොට ආපසු පිටත්ව ගිය පසු මව සහ පියා අතර සිදු වන දබරයකිනි. කතා නායකයා නැතහොත් කතාව කියන්නා වූ දරුවා මෙම දබරය දැකගන්නේවත් නොමැත. සියල්ල තුළ අති නාටකීය බවත්, හේතුඵල සම්බන්ධතාවත් ජී. බී. ඉවත් කොට ඇත්තේය. අවසානයේ මවගේ තුවාල වූ තොල්පට දැකීමෙන්, අනතුරුව කුඩා පිරිමි දරුවා සීයා කෙරෙහි කල් පවත්නා කෝපයක්‌ සිත තුළ නිධන් කරගත් බවක්‌ අපට අඟවයි. කතාව නිමා වූ පසු අපට නොයෙක්‌ ආකාරයෙන් කතාවට ඇතුල්වීමේ මාර්ග පෑදෙන්නට පටන් ගනී. තාර්කිකත්වයට වඩා ජීවිතය බහුවිධ අර්ථ ඇති බව පෙනෙන්නට පටන් ගනී. අනියම් ඇසුරු අන්ධ විශ්වාසය, ස්‌ත්‍රී පීඩනය, අපරාධය හෝ පසුතැවිල්ල, කොන් කිරීම හෝ විනාශය, බලහත්කාරය යන සියල්ලට මෙම මාර්ග ඔස්‌සේ ඔබට ළඟා විය හැක්‌කේය. විඥනය ලෙස අප සිතා සිටින්නා වූ දෙයක්‌ අවිඥනයේ අතර පරතරය පියවා ගැනීමට කතාව සෙමෙන් උපකාරී වන්නට පටන් ගනී. ඓතිහාසික තත්ත්වයක්‌ මත තබා විමසන විටෙක කේවල මානසික ගැටුමක්‌ (psycho - drama), සමාජ රංගනයක්‌ (Social drama) බවට පත්වන්නට පටන් ගනී. ආතර් කොස්‌ට්‌ලර් වැනි රචකයෝ මෙම භාවිතයෙන් මනා ලෙස පොහොසත් ප්‍රයෝජන අත්පත් කර ගත්තෝය.

මෙවැනි නාගරික පසුබිමක්‌ මතින් ජී. බී. සේනානායක කෙටි කතා විමසීමට හැකි බව මගේ විශ්වාසයයි. ඒ අනුව ජී. බී. සිය ප්‍රධාන පෙළේ කෙටි කතා ග්‍රන්ථ තුන වන "දුප්පතුන් නැති ලෝකය", "පළිගැනීම" සහ "මිතුරිය" ඔස්‌සේ අපේ කෙටි කතාවේ ප්‍රධාන ප්‍රවාහයකට අඩිතාලම සැකසූ බව පෙනී යයි. අවසාන වශයෙන් සිග්මන් ප්‍රොයිඩ්ගේ සායනික සටහන් පොතක ඇති කුඩා සටහනකින් මෙම කෙටි විග්‍රහය නිමා කරනු ලබන්නේ ජී. බී. සේනානායකට කරන්නා වූ ගෞරවයක්‌ වශයෙනි.

''ගෙදර ගිනි ගනිමින් තිබුණා. මගේ ඇඳ ළඟට ආව මාව අවදි කළා. මං ඉක්‌මනින් ඇඳුම් ඇඳගත්තා. ඒත් අම්මට ඕන වුණා මඳ ඇසිල්ලක්‌ තාවර වෙලා ඇගේ රත්තරං බඩු පෙට්‌ටිය හොයාගෙන යන්න. ඒත්, තාත්aතා කෑ ගැහුවා. 'ඔයාගේ රත්තරං බඩු ටික නිසා මටයි දරුවො දෙන්නටයි දැවෙන්න බෑ.' අපි පල්ලෙහා තට්‌ටුවට දුවලා ගියා. එළියට ගිය ඇසිල්ලේම මට ඇහැරුණා........''

Beginning Theary කෘතියේ Pschoonalytic Criticism පරිච්ඡේදයේ 104 වැනි පිටුවෙනි.

පියල් කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.