ජී. බී. සේනානායක විචාර දෘෂ්ටිය

එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය විචාරකයන් සමග සංසන්දනය කිරීමේදි ජී. බී. සේනානායක සතු අනන්‍යතාව සුවිශේෂ එකකි. එම අනන්‍යතාව හඳුනාගැනීම මෙම ලිපියේ අරමුණයි.

දිළිඳුකම නිසා අටවැනි පන්තියෙන් ඔබ්බට පාසල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය තමාට නොලැබුණු බව ජී. බී. පවසයි. එහෙත් තමා දිගින් දිගටම අධ්‍යාපනයේ නියෑළුණු බවත් තම විශ්වවිද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්‌තකාලය බවත් ඔහු කියයි. මාර්ටින් වික්‍රමසිංහගේ අධ්‍යාපන ඉතිහාසයද මෙයට එතරම් වෙනස්‌ නොවේ. එහෙත් සරච්චන්ද්‍ර එයට වෙනස්‌ ඉතිහාසයකට හිමිකම් කියයි. ඔහු ඉහළ ශාස්‌ත්‍රාලයීය අධ්‍යාපනය ලැබූවෙකි.

එහෙත් දැනුම හා තමන්ගේම වූ විශිෂ්ට ලේඛන ශෛලියක්‌ නිර්මාණය කරගැනීම සහ වඩාත් ශාස්‌ත්‍රාලයීය ශික්‍ෂණයකින් යුක්‌තව විචාර කලාවේ නිරතවීම යන කාරණා සලකා බලන විට ජී. බී. එම අනෙත් දෙදෙනා අභිබවමින් ඉදිරියට පැමිණෙයි.

ජී. බී. කිසිවිටෙකත් සමකාලීන සිංහල සාහිත්‍ය පිළිබඳ විචාරයේ නිරත නොවීය. ආගම, ජාතිය පිළිබඳ ලාංකිකත්වය හෝ දේශීය බවක්‌ නිර්මාණය කිරීමේ අපේක්‌ෂාවෙන් විචාර කලාවේ නිරත නොවීය. තමාටම අනන්‍ය, ව්‍යාප්ත කළ යුතු දේශපාලන දර්ශනයක්‌ ගොඩනගා රටේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය ඔහුගේ සාහිත්‍ය විචාර න්‍යාය පත්‍රයේ නොවීය. ගුරුකුලයක්‌ හා අනුගාමිකයන් නිර්මාණය කිරීමේ ආයතනයක අවශ්‍යතාව ඔහු සතු නොවූ බව මෙහිලා අවධාරණය කළ යුතුය.

ජී. බී. විචාරයට දායක වූයේ කෙසේද?

පෙරදිග මෙන්ම බටහිර සාහිත්‍යයත්, විචාරයත්, ඉතාමත්ම ගැඹුරින් හා පුළුල්ව කියවා සිංහල පාඨකයා එම සංකල්ප ලෝකය තුළට රැගෙන යැම ඔහුගේ සාහිත්‍ය විචාරයේ හරයයි. එය හුදෙක්‌ විචාර සිද්ධාන්ත වැටුපක්‌ උදෙසා සංගෘහිත කළ ශාස්‌ත්‍රාලයීය උගතකුගේම නිල කටයුත්ත ඉක්‌මවා ගිය ආත්මීය ඥන ගවේෂණයක්‌ විය. මානව විද්‍යාව, මනෝවිද්‍යාව, දර්ශනය, භෞතික විද්‍යාව, සංස්‌කෘතික අධ්‍යයනය මතු නොව ආචාර ධර්ම විද්‍යාව වැනි විෂයන් පවා සුගැඹුරු හැදැරීමකට ලක්‌ කොට එම විෂයන් සාහිත්‍ය විචාරයට දක්‌වන සම්බන්ධය ගවේෂණය කිරීම ජී. බී. ගේ විචාර කලාව තුළ දැකිය හැකි සුවිශේෂත්වයකි.

පනහ දශකයේ දී ගුවන් විදුලි කතා පෙළක්‌ ලෙස පැමිණ පසුව මුද්‍රණයෙන් එළි බට, zබටහිර ශ්‍රේaෂ්ඨ නවකතාZ කෘතිය සිංහල පාඨකයා උදෙසා සැකසූ පාඨ ග්‍රන්ථයක්‌ ලෙස පෙන්වා දිය හැකිය. සරච්චන්ද්‍ර හෝ වික්‍රමසිංහ අතින් කිසිදිනක එවැනි නිරවුල් පෙළ පොතක්‌ රචනා නොවිණි. නිර්මාණකරුවකු ලෙස ලැබූ කීර්තිය බැහැර කරමින් සාහිත්‍ය විචාරකයකු ලෙස සරච්චන්ද්‍ර දෙස බැලීමේදී පෙනී යන්නේ බටහිර සාහිත්‍යය වෙත ඔහු දැක්‌ වූ අල්ප අවධානයයි. මනමේ, සිංහබාහු ඔස්‌සේ ව්‍යාජ දේශීය මානසිකත්වයක්‌ පැතිරෙමින් තිබූ සමයක එම අල්ප අවධානය සිසු පරපුරක්‌ නිර්මාණය කිරීමෙහිලා සෘණාත්මක ප්‍රවේශයක්‌ ගත් ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය. බටහිර උසස්‌ සාහිත්‍ය තම ශිෂ්‍ය ප්‍රජාවට හඳුන්වා දීමෙහිලා අල්ප අවධානයක්‌ දැක්‌වූ සරච්චන්ද්‍ර පෙරදිග විචාරය, සංගීතය වැනි විෂයන් තම ශිෂ්‍ය පරපුරට ගෙනගිය ආකාරය zසාහිත්‍ය විද්‍යාවZ, zකල්පනා ලෝකයZ යන ග්‍රන්ථ දෙකෙන්ම දැකිය හැකිය.

ජී. බී. ගේ "බටහිර සාහිත්‍ය ප්‍රවේශය මෙන්ම zzසාහිත්‍ය සේසත්" යන විචාර කෘති දෙකම අතිවිශාල මෙහෙවරක්‌ වන්නේ එබඳු සන්දර්භයකය. ගී්‍රක සාහිත්‍යයේ සිට 19 වන සියවසේ බටහිර සාහිත්‍ය ලෝකයේ දීප්තිමත් නවකතා දක්‌වා පුළුල් විෂය ප්‍රදේශයක්‌ ආවරණය වන සේ රචිත එම කෘති ඉතා නිරවුල්ව ශිෂ්‍යයන් උදෙසා රචිත පෙළ පොත්වල පැවැතිය යුතු සංවිධානාත්මක භාවය කියාපායි. දිගු කලක්‌ ආයතනිකව සංවිධිත මණ්‌ඩලයක්‌ මගින් අය-වැය ශීර්ෂයකින් මුදල් වෙන්කොට නිර්මාණය විය යුතු කෘතීන් යුගලයක්‌ පාසලේ පන්තියට ගිය මිනිසෙකු අතින් නිර්මාණය වීම ආශ්චර්යයක්‌ ලෙස සැලකිය යුතුය. එහෙත් මේ මොහොතේ අප විමසිය යුත්තේ එම ආශ්චර්යය පසුපස ඇති හේතු සාධකය. ජී. බී. විචාරකයකු ලෙස සිදු කළ මෙහෙවර අවබෝධ කරගත හැක්‌කේ එම හේතු සාධක විමසා බැලීමෙනි.

බටහිර සාහිත්‍යය අධ්‍යයනය කරන ශිෂ්‍යයා වෙනුවෙන් රචිත හොඳ පෙළ පොතක්‌ රචනා කිරීමට ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය අසමත් වූ යුගයක ජී. බී. එම වගකීම කරට ගත්තේ ඒ සඳහා ජීවිතය කැප කරමිනි. ස්‌වභාෂාවෙන් පමණක්‌ කියවීමේ දිළිඳු බුද්ධිමය ආස්‌ථානය කරා පසුබැසීමේ මාරාන්තික ඒකභාෂික විපත

ජී. බී. පැනසිත දුටුවේ යයි අනුමාන කළ හැකිය.

සාහිත්‍ය ධර්මතාව හා විචාර ප්‍රවේශය

"සාහිත්‍ය ධර්මතා" හා "විචාර ප්‍රවේශය" යනු ජී. බී. රචනා කළ තවත් විශිෂ්ට විචාර කෘති දෙකකි. සාහිත්‍ය ධර්මතාව සුවිශේෂ අනන්‍යතාවක්‌ අත්පත් කරගන්නේ මානව විද්‍යාව, මනෝ විද්‍යාව හා ඉතිහාසය යන විෂයන් සහ සාහිත්‍ය අතර ඇති සම්බන්ධය ගැඹුරින් හෙළිදරව් කළ කෘතියක්‌ වශයෙනි. මානව විද්‍යාව පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ, නන්දදේව විඡේසේකර වැනි මුල්කාලීන ලේඛකයන් වටිනා ග්‍රන්ථ රචනා කළ බව අපි දනිමු. එහෙත් ජී. බී. ගේ ප්‍රවේශය එයට වෙනස්‌ වෙයි. වික්‍රමසිංහ මානව විද්‍යා න්‍යාය හා මානව විද්‍යාඥයන් පිළිබඳ හැඳින්වීම, එහි ඉතිහාසය ගැන පවසන විට ජී. බී. ඒ කිසිවක්‌ නොපවසයි. ඔහු මානව විද්‍යාඥයන්ගේ න්‍යාය ගැඹුරින් ආත්මගත කරගනිමින් ඒ ඔස්‌සේ සාහිත්‍යය පිළිබඳ කතා කරයි.

zසාහිත්‍ය ධර්මතාවZ කෘතියේ එන භාෂාව නමැති දීර්ඝ පරිච්ඡේදය මේ සඳහා කදිම උදාහරණයකි. භාෂාව පිළිබඳ පරිස්‌තිථික විග්‍රහයක්‌ වන එහි මනෝවිද්‍යාව, මානව විද්‍යාව හා භාෂාව අතර ඇති අර්ථ ප්‍රතිනිර්මාණ විදාරණය කරන්නේ ඉහළ ශාස්‌ත්‍රීය ශික්‌ෂණයකිනි. එතරම් ගැඹුරු අදහස්‌ සරල භාෂාවෙන් පැවසීම අති - දුෂ්කර උත්සාහයකි. දිගු කලක්‌ බස ලිවීමෙන් පමණක්‌ ඇතිකරගත හැකි උත්කෘෂ්ට පරිචයකි. ජී. බී. එම නිරවුල් භාවය අත්පත් කරගෙන ඇත්තේ සිය සමකාලීනයෙන් පරදවමිනි.

එම ග්‍රන්ථයේ එන තවත් තේමාවක්‌ වන්නේ සමාජ වෙනසට සමානුරූපීව සාහිත්‍ය කලාවන්හි සිදුවන වෙනස්‌වීම්ය. ග්‍රාමීය හා නාගරික ශිෂ්ටාචාර අතර රුචිකත්වය වෙනස්‌ වන්නේ ඇයිද යන්න ජී. බී. මෙහිදී සාකච්ඡා කරයි. මේ සියලු සාකච්ඡාවල හරය ලෙස නිරීක්‌ෂණය කළ හැක්‌කේ සාහිත්‍යයේ හා සමාජයේ ඉතිහාසය පිළිබඳ පුළුල් අන්තර් සම්බන්ධයය විමර්ශනය කිරීමේ ප්‍රයත්නයයි. ජී බී. එම සම්බන්ධ මතු කරන්නේ පුංචිබණ්‌ඩාර සන්නස්‌ගලගේ සිංහල සාහිත්‍ය වංශයට වඩා වෙනස්‌ ආකාරයෙනි. එනම්, සාහිත්‍යය හා සමාජය අතර අන්තර් සම්බන්ධය විනිවිදිමිනි. එම විනිවිදීම මානව විද්‍යාවෙන් පෝෂණය ලැබූවකි. ඊ. බී. ටයිලර්, බ්‍රැතිසස්‌ලෝ මැලිනවුස්‌කි වැනි 40 දශකයේ බ්‍රිතාන්‍ය මානව විද්‍යා ගුරුකුලයය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසු ජී. බී. තම රචනය ලියා ඇති බව නිරීක්‌ෂණය කළ හැකිය. විචාර ප්‍රවේශය කෘතිය මෙයට වඩා වෙනස්‌ අරමුණකින් ලියවී තිබේ. සාහිත්‍යය හා රසාස්‌වාදය යනු කුමක්‌ද යන්න ගැඹුරින් විමසමිත් අවසාන පරිච්ඡේදයේ විචාරය යන සංකල්පය වෙත ළඟාවීමට උත්සාහගෙන තිබේ. ආකෘතිය අන්තර්ගතය, විරිත, රිද්මය හා භාව වැනි සාහිත්‍ය අධ්‍යයනයේදි අවැසි වන මූලික සංකල්ප උදාහරණ සහිතව ඉදිරිපත් කරන ජී. බී. ජනකවිය, වියත් කවිය යනාදී කාව්‍යයේ නොයෙකුත් අංගයන්ගෙන් තම උදාහරණ ඉදිරිපත් කරන අතර විශ්ව සාහිත්‍යයෙන් ද සුදුසු උදාහරණ ගැනීමට අමතක නොකරයි. සාහිත්‍යය, රසාස්‌වාදය හා විචාරය නමැති සංකල්පය පිළිබඳ මෙතරම් නිරවුල් අවබෝධයකින් රචිත පෙළපොත් සිංහලයේ දුර්ලභය. ජී. බී. ගේ කෘතියේ වැදගත්කම වනුයේ හුදු විභාග පාඨකයකු නොව ජීවිතාබෝධයෙන් යුක්‌ත වූ බහුශ්‍රැතයකු බිහි කිරීමයි. ඒ සඳහා කෘතිය සංවිධානය කිරීමේ පූර්ණ ප්‍රතිභාව ජී. බී. සතුය.

සාහිත්‍ය විග්‍රහය

සාහිත්‍ය විග්‍රහය ජී. බී. රචනා කළ තවත් වැදගත් විචාර පොතකි. මෙහි ඇති සුවිශේෂතාව නම් දුර්ලභ පැරණි කාව්‍යයන් හා මහා කාව්‍යයන් පිළිබඳ විස්‌තර කරමින් සාහිත්‍ය පිළිබඳ ගැඹුරු පරිචයක්‌ පාඨකයා තුළ ඇති කිරීමයි. රචනා ශෛලිය පිළිබඳ ජී. බී. ලියන ලේඛන තුළින් හුදු පාඨකයකු මතු නොව අනාගතයේ බිහිවන ලේඛක පරපුරක්‌ වෙතද ජවසම්පන්න ආලෝක දහරාවක්‌ සැපයේ. විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය උගන්වන ගුරෙකු ලෙස මට ජී. බී. පෙනෙන්නේ හුදු ලේඛකයකු ලෙස නොව පන්ති කාමරවල සාහිත්‍ය අධ්‍යයනය කරන සිසු සිසුවියන් උදෙසා සවිඥනිකව පත පොත ලියූ සංවේදී ගුරුවරයකු ලෙසය. ව්‍යංජා, කෘතිම පාදක සටහන්, පරිවර්තන හා දිව උළුක්‌කරන පාරිභාෂික වචන මෙබඳු පොත්වල දක්‌නට නොලැබේ. නිරායාසයෙන් මෙන් ගැළපෙන කෙටි වැකිය. අඛණ්‌ඩව නිරවුල්ව ගලායන මනවඩවන ශෛලියක්‌ නිර්මාණය කිරීමට ජී. බී. දක්‌වන හැකියාව ඔහු සතු අනන්‍යතාවක්‌ ලෙස පෙන්වා දිය හැකිය.

සාහිත්‍ය දර්ශන සිතුවිලි

සාහිත්‍ය දර්ශන සිතුවිලි ජී. බී. ගේ තවත් විචාර ග්‍රන්ථයකි. මෙය කෙටි රචනා එකතුවක්‌ ලෙස රචනා වී තිබෙන අතර එම කෙටි රචනා සාහිත්‍යයට සම්බන්ධ විවිධ තේමා ගැඹුරින් මතු කරයි. නිදසුනක්‌ ලෙස zවීරයා මළේයZ යන තේමාව යටතේ ජී. බී. සාකච්ඡා කරන්නේ සාහිත්‍යය තුළ පැරණි අර්ථයේ වීර භූමිකාව අර්බුදයට ලක්‌වීමයි. එසේ අර්බුදයට ලක්‌වූ 18, 19 සියවසේ තාර්කික බුද්ධි ප්‍රභාව පිළිබඳ ජී. බී. සාකච්ඡා කරන්නේ සමාජ විද්‍යාඥයකුගේ මෙන්ම දර්ශනවාද විෂයෙහි පුහුණුවක්‌ ලත් ශාස්‌ත්‍රඥයකුගේ ඇසිනි. මේ අතර ජී. බී. සම්භාව්‍ය ගී්‍රක ට්‍රැජඩි නාට්‍ය පිළිබඳ තේමාවද ඉස්‌මතු කරයි. සොෙµdක්‌ලීස්‌ගේ ඇතැම් නිර්මාණ සමග උම්මග්ග ජාතකය සසඳයි. ෙµ්‍රdයිඩ්ගේ මනෝවිද්‍යාත්මක න්‍යායන් සමඟ උම්මග්ග ජාතකයේ චරිත දෙස බැලීමට උත්සාහ කරයි. මෙය ෙµ්‍රdයිඩ්ගේ න්‍යාය පිළිබඳ විශාල සාකච්ඡාවක්‌ බිහිවී වැඩුණු වර්තාමනයේ වුව දක්‌නට නොහැකි වූ තත්ත්වයකි. එසේම මාර්ටින් වික්‍රමසිංහ වැනි උගතෙකු උම්මග්ග ජාතකය දෙස හෙළුE විචාර දෘෂ්ටියට වඩා හාත්පසින්ම වෙනත් දෘෂ්ටියකින් එම කෘතිය කියවීමට ගත් උත්සාහයක්‌ ජී. බී. තුළ දැකිය හැකිය.

මම එදා සහ අද විනිවිදිමි අඳුර සහ

මගේ සිතුම් පැතුම්

ජී. බී. ජීවිත කථා 3 ක්‌ ලිවීය. ඒවා හුදු ජීවන සිදුවීම්වලින් පිරීතිරී ගිය ඒවා නොව සාහිත්‍යය හා වෙනත් විෂයන් පිළිබඳ තම කියවීම්වලින් පිරි විශ්වකෝෂ බඳු ග්‍රන්ථ ලෙස හැඳින්විය හැකිය.

ජී. බී. යනු පොත්වලින් වෙන්කොට හඳුනාගත හැකි චරිතයක්‌ නොවේ. ඔහුගේ ජීවිතයම පොත්ය යන සත්‍ය සංකල්පය මේ පොත් වලින් පාඨකයා වෙත ගෙනෙන පණිවිඩයයි.

සමාලෝචනය

විචාරකයකු ලෙස ජී. බී. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර යන දෙදෙනා හා සමතලයේ සිටින බව අපගේ අදහසයි. නිර්මාණකරුවකු ලෙස ඔහුට එම දෙදෙනාට සමවිය නොහැක. එහෙත් සාහිත්‍යය ඉගැන්වීම සඳහා පෙළ පොත් තේරීමේදී සරසවි ගුරෙකු වශයෙන් මා තෝරන්නේ සරච්චන්ද්‍රගේ හෝ වික්‍රමසිංහගේ පොත් නොව

ජී. බී. සේනානායකගේ පොත්ය. මන්ද යත් එම පොත් අපමණ නිරවුල් බසකින් අපමණ නිරවුල් දැනුමක්‌ සම්පාදනය කරන කෘති සම්භාරයක්‌ බැවිනි.

කථිකාචාර්ය චින්තක රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.