සංස්‌කරණය : නාරද නිශ්ශංක

අහුබුදුවන් ගේ පද පබඳ බවට පත් හද පබඳ
අතු අගැ දිළි මල් අහුබුදු මියෑසි මිහිර

හෙළ ගී ලොවට අසමසම මෙහෙවරක්‌ කළ කලාසූරී අරිසෙන් අහුබුදු ශූරීන්ගේ දෙවන ගුණ සමරුව නිමිත්තෙන් පිදෙන අතු අගැ දිළි මල් අහුබුදු මියෑසි මිහිර ගී හරසර උළෙල ජූලි 18 වැනිදා සවස 6.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අරිසෙන් අහුබුදු පදනම මෙහෙයවන මෙම උළෙල ගැයුමෙන් රස ගන්වන්නට පණ්‌ඩිත් අමරදේව, වික්‌ටර් රත්නායක, විශාරද නන්දා මාලිනිය, ලතා වල්පොල, අමිත් වල්පොල, ජගත් වික්‍රමසිංහ, ලක්‍ෂ්මන් විජේසේකර, වර්නන් පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, ජානක වික්‍රමසිංහ, නිශ්ශංක දිද්දෙනිය, නෙලූ අධිකාරි, නන්දන ලියනගේ, රමණී පෙරේරා, සඳනි අහුබුදු සමග රනාරා ඇකඩමියේ සිසු සිසුවියන් ද එක්‌වෙති. මියෑසිය මෙහෙයවීම නවරත්න ගමගේ, නර්තන නිර්මාණය කුලසිරි බුදවත්ත, නේමාලි බුදවත්ත වෙතිනි. බුදවත්ත රංගායතනයේ සිසු සිසුවියන් නර්තනයට එක්‌වෙති. අසේල බණ්‌ඩාරනායක, ඉන්දසිරි සුරවීර උළෙල මෙහෙයවති. මේ සමග පළවන ලිපිය ඒ නිමිත්තෙනි.

අරීසෙන් අහුබුදුවෝ මෑත අවධියේ දේශීය චින්තනය කෙරෙහි සුවිශේෂ බලපෑමක්‌ ඇති කළ සන්නිවේදකයෙකි. කුමරතුඟු පඬිවරයා හෙළි කළ ප්‍රණාලීය භාෂාවේ රීති ස්‌වරූපය පරිසේවනය කරමින් තමාට ම ආවේණික භාෂාත්මක රීතියක්‌ මෙන් ම විශේෂිත ශෛලියක්‌ ද ගොඩනඟා ගැනීමට අහුබුදුවෝ සමත් වූහ. ඔවුන් ගේ රීතිය හා රිද්මය ඔවුන් ගේ දර්ශනයට හා සංස්‌කෘතියට ද අනුරූප ව සකස්‌ වූවකි. තම භාෂා රීතිය යුග රීතියක්‌ බවට පත් කිරීමට අහුබුදුවන් සමත් වූ අයුරු ඔවුන් මනා ව ප්‍රගුණ කළ ගීත සාහිත්‍යය තුළින් වඩාත් පැහැදිලි වෙයි.

පරිණත කලාකරුවා තමාට ම ආවේණික ශෛලියක්‌ ගොඩනඟා ගනී. තමාට ම විශේෂිත ශෛලියක්‌ කිසියම් කලාකරුවකු ගේ නිර්මාණ තුළ දක්‌නට නැත් නම් ඔහු පරිණත කලාකරුවකු වශයෙන් හැඳින්විය නො හැකි ය. ප්‍රබුද්ධ කලාකරුවෝ රීතිය හා රිද්මය ස්‌වකීය ශිල්ප ක්‍රම තුළින්ම මතු කර ගනිති. නිර්මාණ කාර්යයෙහි යෙදෙන සංගීතඥයා ස්‌වර වර්ණවලින් මතු කර ගන්නා රීතිය, රිද්මය හා ශෛලිය චිත්‍ර ශිල්පියා චිත්‍රණයේ දී රේඛා, වර්ණ හා හැඩතල මගින් සකස්‌ කරගනී.

කවියා මෙන් ම ගීත රචකයා ද නිර්මාණකරණයේ දී පද, පද සංඝටන විධි හා පද සංයෝජන රටා මගින් තම රීතිය රිද්මය හා ශෛලිය ද ගොඩනඟා ගනී.

සන්නිවේදන මාධ්‍යයක්‌ හා කලාංගයක්‌ සේ ගීතය වර්ධනය වීමේ දී දශක කීපයක්‌ තුළ අහුබුදුවන් කළ භාෂාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම් ඉතා සියුම් ලෙස විමර්ශනයට බඳුන් විය යුතු ය.

භාෂාව මානව චින්තනය කෙරෙහි දැඩි ලෙස බලපායි. භාෂාවෙන් තොර ව ක්‍රමානුකූල ව සිතිය නො හැකි ය. භාෂාව ප්‍රකාශන, ශක්‌තියෙන් ආඪ්‍ය වූ සියුම් උපකරණයක්‌ වශයෙන් පැවතීම උසස්‌ චින්තනයට මහත් අනුබලයකි. භාෂාවක්‌ කෙළෙසීම චින්තන රටාව පිරිහෙළීමට ද හේතුවක්‌ වෙයි.

'භාෂාව චින්තනයෙහි උපකරණය යි. භාෂාව නොසැලකිලිමත් සේ පරිහරණය කිරීම යනු නොසැලකිලිමත් සේ සිතීම යි' යනුවෙන් සුප්‍රකට සෝවියට්‌ ලේඛකයකු වන ඇලෙක්‌සි තෝල්ස්‌තෝයි කළ ප්‍රකාශය මෙහි දී හුවා දැක්‌වීම වැදගත් වෙයි. අහුබුදුවන් ගේ නිවැරදි බස ඔවුන්ගේ නිරවුල් චින්තනය හා අරමුණ ද පසක්‌ කරන්නකි.

සන්නිවේදනයේ දී වැදගත් ම උපකරණය වන භාෂාවේ ප්‍රකාශන ශක්‌තිය පෝෂණය කිරීමට අහුබුදුවන් කළ පර්යේෂණ ඉතා වැදගත් වෙයි. මේ පර්යේෂණ කාර්යය වඩාත් පැහැදිලි ව පෙනෙන්නේ ඔවුන් ගේ ගීත සාහිත්‍යය තුළිනි. ගීතයේ දී අපූර්ව සංකල්පනා සරල ලෙසත්, විචිත්‍ර ලෙසත් ඉදිරිපත් කරන්නේ නව පරිසරයක්‌ තුළ භාෂාව හසුරුවමිනි. සියුම් අදහස්‌ හා හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා අලුත් වාගුක්‌ති, අලුත් යෙදුම්, අහුබුදුවෝ නිරතුරු ව භාවිත කරති. මෙහි දී ජනවහර, කටවහර හා සේ වහර ද අලුත් භාෂාත්මක පරිසර තුළ යොදා කරන අත්හදා බැලීම් විමර්ශනයට පාත්‍ර විය යුත්තකි.

සමහර කාව්‍ය නිර්මාණ හා සාහිත්‍ය කෘති කාලීනත්වය ඉක්‌මවා පවතී. බොහෝ විට මේවා සමකාලීන පාඨකයන්ගේ අවධානයට යොමු නො වී යැමට ද ඉඩ තිබේ. හෙළ හවුල හා කුමාරතුංග සූරීන් ගේ සාහිත්‍ය නිර්මාණ සමකාලීන රීතියට පටහැනි යෑයි තර්ක කිරීමට තරම් ඇතැම් විචාරකයන් පෙළඹුණු අවස්‌ථා ද ඇත.

කෙසේ වුව ද හෙළ හවුලේ භාෂා රීතිය මෙන් ම කුමරතුඟු රීතිය ද පොදු ජනයා අතර ව්‍යාප්ත කිරීමට හා ජීවමාන කිරීමට වෙහෙස ගත් ගීත රචකයා වශයෙන් අහුබුදුවනට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි. (පණ්‌ඩිත ගුණපාල සේනාධීර, හියුබත් දිසානායක, කිත්සිරි කුමාරසිංහ ආදි හෙළ හවුලේ ගීත රචකයන් ගෙන් ද මෙහි දී වැදගත් මෙහෙවරක්‌ ඉටු වී ඇත).

ජන වහර, කට වහර අලුත් පරිසරයක යොදා, අලුත් යෙදුම් හා අලුත් වාගුක්‌ති සකස්‌ කරමින් කුමරතුඟුවන් හා හෙළ හවුලේ කවීන් මතු කළ රීති අප ගේ විචාරකයන් පැහැදිලි ව නො හඳුනා ගත් නිසා රසිකයනට මෙන් ම පර්යේෂකයනට ද එහි වැදගත්කමක්‌ නොපෙනිණ.

ජන වහර හා කටවහර යොදා අහුබුදුවන් කළ අත්හදා බැලීම් මේ ව්‍යායාමය ජීවමාන කිරීමට ප්‍රබල පිටුබලයක්‌ විය. මේ ප්‍රයත්නය ගීත සාහිත්‍යයේ නව ප්‍රවණතාවක්‌ බවට ද පත් විය. හෙළ හවුලේ භාෂා රීතිය සමකාලීන රීතියට නොගැළැපෙන්නක්‌ බවට නැඟෙන චෝදනා ඉවත දැමීමට ද අහුබුදු ගීත රචනා හේතු වෙයි.

සන්දේශය (1960) චිත්‍රපටයට ඔහු ලියූ ප්‍රතිකාල් සෙබළුන් ගේ මුවින් ගැයෙන 'පුරුතුගීසිකාරයා' නමැති විනෝදාත්මක ගීතය වැදගත් අත්හදා බැලීමක්‌ සේ සැලකිය හැකි ය. මෙය කටවහර හා ජන වහර මනා සේ උපයෝගී කර ගනිමින් ලියන ලද්දකි. රීති හා සන්නිවේදනයේ දී වැදගත් වන අහුබුදුවන් ගේ ප්‍රකාශන ශිල්ප ක්‍රම හඳුනා ගැනීමට මෙය හොඳ නිදසුනකි.



පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ

අප යන පාරේ පැතිරේ විනෝද මිහිරේ

පැතිරේ විනෝද මිහිරේ

පැතිරේ විනෝද මිහිරේ - විනෝද මිහිරේ

සිස්‌ටාචාරේ දන්නේ නෑ මේ ගොල්ලෝ

කොස්‌ කාලා බත් කාලා බුදියන කොල්ලෝ

බුදියන කොල්ලෝ - විනෝද මිහිරේ

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ

කාලතුවක්‌කුයි බයිනෙත්තුයි හරවන්නේ

බයිනෙත්තුයි හරවන්නේ - විනෝද මිහිරේ

අපේ තුවක්‌කු ඉහළ ම කාලතුවක්‌කු

ගහන්න වෙනවා වැදුණොත් ලෝකෙට මුක්‌කු

වැදුණොත් ලෝකෙට මුක්‌කු= විනෝද මිහිරේ

කන්න හපන්නු

බොන්නත් බොහො ම හපන්නු

ඊටත් වැඩියෙන් යුද්දෙට හරි ම හපන්නු

යුද්දෙට හරි ම හපන්නු - විනෝද මිහිරේ

වයින් බෝතලේ යුද්දෙට හරි ම ආයුදේ

හරි මැ ආයුදේ අප ගේ පරම විනෝදේ

අප ගේ පරම විනෝදේ විනෝද මිහිරේ

වයින් බෝතලේ - ඇති තැන විනෝද මිහිරේ

වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ

යා හැකි දෙව්ලොව පාරේ - විනෝද මිහිරේ



විනෝදාත්මක ගීතයක්‌ වූ මේ අනුව යමින් පසු කාලයේ චිත්‍රපට විනෝද ගීත සඳහා කටවහර යොදා ගැනීමට ගීත රචකයෝ පෙළඹුණහ.

'රන් මුතු දූව' චිත්‍රපටයට මානවසිංහයන් ලියූ 'පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා' ගීතය මෙන් ම ගැටවරයෝ චිත්‍රපටයේ එන මහගමසේකර ලියූ 'හාරිච්චි බෝරිච්චි' ගීතය ද අහුබුදු කවියා මතු කළ රීතිය පුරෝගාමී කොට ඉදිරියට යැමක්‌ සේ සැලකිය හැකි ය.

භාෂාව යනුවෙන් හැඳින්වෙන්නේ නව චින්තන සංකල්ප නිර්මාණය කරනු සඳහා උපයෝගි කරගන්නා මාධ්‍යයකි.

සංගීතය මතු වන්නේ ස්‌වර වර්ණ හා නාද සංයෝජන රටාවන්ගෙන් පමණක්‌ ම යන්න බොහෝ දෙනකු ගේ විශ්වාසය විය හැකි ය. එසේ වුව ද චින්තාවලියේ පවත්නා සංගීතය පිළිබඳ ව අදහසක්‌ ද මෙහි දී මතු කරනු කැමැත්තෙමි. චින්තාවලියේ සංගීතය ගීත රචකයා විසින් මතු කර ගැනීමෙන් අනතුරු ව නාද කාව්‍යයක ස්‌වරූපයෙන් සංගීතඥයා අතට පත් වෙයි. චින්තාවලියෙන් සංගීතය පසක්‌ කර ගැනීමට හේතු වන බොහෝ නිදසුන් අහුබුදුවන් ගේ නිර්මාණ තුළින් දැක්‌විය හැකිය.



මල්ගොමු ගුමු ගුමු ගන්වන්නී

මී වදවලැ පැණි පුරවන්නී

කුරුලු සරින් කන් පිනවන්නී

මුළු ලොව උයනක්‌ කරවන්නී

යනුවෙන් අමරදේව ගයන ගීතය හා



සුදට සුදොa වලාකුළයි

නිල් අහසේ පා වෙන්නේ

කන්ද උඩින් පණිවිඩයයි

පුතුට මගේ ගෙනැ එන්නේ

හඳ මාමයි සිනා සිසී

රිදී පහන අල්ලන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා

යනුවෙන් ලතා ගයන ගීයද මේ සඳහා කදිම නිදසුන් ය.

වචනයට යා හැකි දුර ගෙවා අවසන් වූ තැන සංගීතය උපදිනු ලබන බවට ඩේවිඩ් රැන්ඩොල්ෆa (Daඩසා Raබාදමකෙ) නමැති සංගීතඥයා මතයක්‌ පළ කර තිබේ. මේ ආප්ත වාක්‍යයේ පිළිසරණ සොයා යන සමහර සංගීතවේදීන් ගීත රචකයා ගේ කාර්ය භාරය අවප්‍රමාණයකට ලක්‌ කිරීම සඳහා මෙය පුන පුනා කියන අවස්‌ථා ද ඇත. අප ඉදිරිපත් කරන මේ චින්තාවලියේ සංගීත සංකල්පය රැන්ඩොල්ෆa ගේ ආප්ත වාක්‍ය අරුත් සුන් මනඃකල්පිතයක්‌ බවට පත් කරනවාට සැක නැත.

කෙසේ වුව ද ගීතය සාමූහික කලාවක්‌ බව ඉඳුරා ම කිව හැකි ය. මෙහි දී සංගීතඥයා ගේ කාර්යයෙහි වැදගත්කම ද අප විසින් අවබෝධ කරගත යුතුය. සංගීතඥයා ගීත රචකයා ගේ චින්තාවලියේ සංගීතය තුළින් මතු වන නාද කාව්‍ය කෙරෙහි සංවේදී ව වඩාත් අර්ථවත් නිර්මාණයක්‌ කරයි. ඒ සඳහා වචනවලින් එහා පවතින භාවමය තත්ත්වයක්‌ වෙත රසිකයා රැගෙන යැමට ඔහු උත්සාහ කරයි.

අර්ථය ගලා යන්නක්‌ සේ ම ශබ්දය අතරමඟ නවතින්නක්‌ බවත් පැරණි චීන කියමනක සඳහන් වෙයි. අහුබුදුවන් ගේ ගීත නිර්මාණ තුළින් මතු වන චින්තාවලියේ සංගීතය හා අර්ථය ගලා යන ගංගාවක්‌ සේ යුග යුග ගණනක්‌ ඉදිරියට ම ගලා යනවාට කිසිදු සැකයක්‌ නොමැත. පහත පළ වන ඔවුන් ගේ ගීත නිර්මාණ මේ පිළිබඳ සාධක සේ සැලකිය හැකි ය.



එම්බා ගංගා

නවතිනු නවතිනු ගංගාවේ

එම්බා ගංගා නවතිනු නවතිනු

ගංගාවේ

එම්බා ගංගා ගංගාවේ

කන්ද කපවු

ගල් පෙරළවු

වේලි බඳිවු

ගමන බිඳිවු

ගංගාවේ



හිටු එම්බා - ගඟ පුම්බා

දිය ලම්බා - ගංගාවේ

වැඩට අපේ දිය නො මැ දී

මූද කරා යනු වැරදී ගංගාවේ



ගංගාවක රිද්මය සංගීතවේදියා ගේ මනස තුළ චිත්‍රණය කළ අවස්‌ථාවක්‌ වශයෙන් වලාකුළින් බැස ගීතය ද නිදසුන් කොට දැක්‌විය හැකිය.



වලාකුළින් බැස

සමන් කුළත් වැඳ

එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ

ගනිවු ගනිවු

හඬ හඬා ඔහේ යනවා



භාෂාව ප්‍රධාන වශයෙන් ශ්‍රවණ ගෝචර වූවකි. ගීත රචකයා භාෂාවේ නිර්මාණයට මුල් වන ඒකක වෙසෙස වන 'ශබ්ද' කිසි යම් රටාවකට අනුගත කරන්නේ චින්තාවලියේ ම මතු වන සංගීතයට අනුකූල වය.

අහුබුදුවන් ප්‍රචලිත ජන කවියේ ආකෘතිය තමාට රිසි සේ අරුත් දැනවීමේ දී සකස්‌ කර ගන්නා අයුරු පහත සඳහන් ජන කවිය විස්‌තාරණය කර සකස්‌ කර ගන්නා ගීතයෙන් පැහැදිලි වේ.



ජන කවිය



කටේ කිරි සුවඳ යන්නට ද බැරි වුණා

යුදට උපන් කුමරා යයි පතළ වුණා



අහුබුදුවෝ මේ කවිය මාත්‍රා දෙකකින් වර්ධනය කර තව රටාවක්‌ මතු කරති.



කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා

යුදට උපන් කුමරිඳු යෑයි නමක්‌ ඇති වුණා

මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා

ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා



නිතරැ නිතරැ සීතාවක රණ බෙර නැඟුණා

කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා

පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා

රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා



රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා

නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා

එක්‌ වැ සිටි සැවොම මතුරා විස ද වැඩි වුණා

රාජ සිංහ දෙවි නාමෙන් ගියා නැති වුණා



අහුබුදුවන් විසින් සංස්‌කෘතික ස්‌මෘතිය හා ලෝක ඥනය ඇසුරෙන් පබඳින ලද ගීත සමුදාය ජාතිකාභිමානය දැල්වීමට ද හේතු වී ඇත.

පහත සඳහන් ගීතය අහුබුදුවන් ගේ දේශාභිමානී ගීතාවලියේ ස්‌වරූපය පැහැදිලි කරන ප්‍රබල නිදසුනකි.



ලංකා ලංකා පෙම්බර ලංකා

පිනවමු ඔබ ලංකා

හොබවමු ඔබ ලංකා දිවි දී

සුරකිමු ඔබ ලංකා



බලිතරු රාවන ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා

පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා

විදු සක්‌විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා

ඔබ රැකුණොත් ලෝ කුඹුව ද අප හට සීත ගඟුලි ලංකා



මහවැලි කළු කැලණී වලවේ අත් හතරක්‌ ඇති ලංකා

සමනොල කිරිගල් පිදුරුතලා නෙක කෙහෙගැට බැඳ ලංකා

තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුළේ නළවන ලංකා

මුහුදින් අඟලක්‌ ඔබ වැවෙතොත් එහි පනිමු පනිමු ලංකා



ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා

අව හොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද හොවමු ලංකා

ගොඩ දිය අහසේ හැම තැන ඔබ ගේ නම කියවමු ලංකා

ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා



හෙළ මුතුමිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා

ගස්‌ වැල්වල මල් එකට ගොතාලා ඔබ පළඳිමු ලංකා

රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා

අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා



හද බසහෙs හා චිත්තාවලියෙන් මතුවන සංගීතයේ ද ගැඹුර පිළිබඳව ද විශ්වාසය තැබූ සංගීතවේදියෙක්‌ ලෙසට සුනිල් සාන්තයන් හැඳින්විය හැකිය. ගී තනුවක නිර්මාණය පදමාලාව අනුවම විය යුතු බව සුනිල් සාන්තයෝ එකහෙළා කියා සිටියේ මේ අනුවය.

පිවිතුරු සංගීත කල්පනාවත් පද පැබැඳුම ඇසුරෙන් මවා ගැනීමට සුනිල් සාන්තයන්ට වඩාත්ම පිහිට වූ ගී පබදුවා ලෙසට අහුබුදුවන් කැපී පෙනෙයි. සුනිලුන්ගේ නිර්මාණ ධාරාවට අහුබුදු පබැඳුම් නිසා නව පුබුදුවක්‌ ලැබුණි. මෙයට හේතු වූයේ බස පිළිබඳව මෙන්ම ගීත ආකෘති පිළිබඳවද අහුබුදුවෝ නිරතුරුවම කළ පර්යේෂණ කාර්යය බව ඉඳුරාම කිව හැකිය.

නිර්මාණ සංගීතය පිළිබඳ ගැඹර පර්යේෂණ කාර්යයක යෙදුණ අමරදේවයන්ටද අහුබුදුවන් පැබැදූ ගී විශිෂ්ට ගණයේ ඒවාය. අමරදේවයන් මෙන් සුනිල් සාන්තයෝද බස පිළිබඳව ලබා තිබූ ගැඹර ඥනය අහුබුදුවන්ගේ නිර්මාණ කාර්යය පහසු කරන්නක්‌ විය.

සිංහල සන්දේශ කාව්‍ය වංශයට අයත් පැදි ගණන තුන්දහසකට ආසන්නය. මෙම පැදි නොයෙක්‌ පඬුවන් අතින් විවරණය කෙරුණකි. කොළඹ කවි සමය තුළද පබැඳි (මුද්‍රිත) පැදි ගණන පහළොස්‌ දහසක්‌ පමණ වෙතැයි සැලකීමට සාධක ඇත.

කවි අතලොස්‌සක්‌ පැබැඳුණද 'නිසඳැස්‌' කාව්‍ය පැබැඳුම් කළ පබඳුවන්ගේ නිර්මාණ පේරාදෙණි යුගය වශයෙන් විචාරකයන්ගේ නොමඳ සැලකිල්ලට පාත්‍රව ඇත.

අරීසෙන් අහුබුදුවෝ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක්‌ වැඩිම පැදි ගණනක්‌ පැබැ» කිවිඳුන් හැටියට ඉඳුරාම කිව හැකිය.

තම ජීවිත කාලය තුළ පනස්‌ දහසකට වැඩි පද්‍ය නිර්මාණ සංඛ්‍යාවක්‌ ඔහු විසින් පබ¹ ඇත. එනමුදු විචාරක අවධානයට ඔහුගේ නිර්මාණ පාත්‍රව ඇත්තේ මඳ වශයෙනි".

සුනිල් සරත් පෙරේරා

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.