සංස්‌කරණය : නාරද නිශ්ශංක

පැන්සලක්‌ සහ කඩදාසියක්‌ ගෙන
කුමක්‌ හෝ ලිවීමේ පුරුද්දක්‌
පුංචි කාලේ සිටම ඔහුට තිබුණා

- මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මැණියන් එදා කළ සඳහනක්‌



අපේ රටේ ගෞරව සම්භාවනාවට පාත්‍රව සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු, විශිෂ්ට ගීත රචකයකු මෙන්ම කෘතහස්‌ත සිනමාවේදියකු ද වන සුනිල් ආරියරත්නයන් මෙරට සාහිත්‍ය උදෙසා කළ අග්‍රගණ්‍ය මෙහෙවර අගයමින් ඊයේ සවස ශ්‍රී ජයවර්ධනපුර සරසවිය මගින් සාහිත්‍ය සූරි සම්මාන උපාධිය එතුමන්ට ප්‍රදානය කෙරුණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ළමා කාලය ගෙවුණ හැටි පිළිබඳ ඔහුගේ මව 1977 සැප්තැම්බර් 22 වැනිදා "සිත්සර" පත්‍රයට කර තිබූ සඳහන අප පළකරනුයේ එතුමන්ට චිර ජීවනයද පතමිනි.

දරුවකු ලොකු කිරීමට මවක ගන්නා උත්සාහය මේ යෑයි කිව යුතු නොවේ. ඇගේ ඒ වෙහෙසේ පමණට ප්‍රතිඵල සතුටුදායක වේ නම්, ඇය ලබනා සන්තෘෂ්ඨියද මේ යෑයි කිව යුතු නොවේ. එවැනි සන්තෘෂ්ඨියක්‌ ලබන මවුවරු එමට ඇත. මවුවරුන්ගේ වෙහෙසේ තරමට ප්‍රතිඵල ගෙන දෙන දරුවන්ද එමට ඇත. අප අද කතා කිරීමට සැරසෙනුයේද එවැනි මවක හා පුතකු පිළිබඳවයි. ඔහු සුනිල් ආරියරත්නයන්ය. ඔහුගේ කලා හා පෞද්ගලික ජීවිතය පිළිබඳ ඔබ නොදන්නා තතු සමහරක්‌ හෙළි කිරීමට ඔහුගේ මව වන සෝමලතා වැලිවත්ත හමුවීමු.

"හය හතර නොතේරෙන අවධියේ පටන් සුනිල්ගේ පුරුද්දක්‌ තිබුණා, පැන්සලක්‌ හා කඩදාසියක්‌ අරගෙන කුමක්‌ හෝ ලියන්නට තැත් කිරීම. ක්‍රමක්‍රමයෙන් වයසින් මෝරා එත්ම අපැහැදිලි රූප, අකුරු හා ඉලක්‌කම් වැනි දේ කුරුටු ගෑමෙන් අත්මිදී හිතට එන අදහස්‌ ලියන්න ගත්තා. මේ පිළිබඳ විශේෂයෙන් සඳහන් කිරීමට මා අදහස්‌ කළේ එම වයසේ අන් බිලිඳු දරුවන් යම් කෙළි බඩුවක්‌ රැගෙන සෙල්ලම් කරද්දී සුනිල්, ඔවුන්ගෙන් මිදී යමක්‌ ලිවීමට ප්‍රියතාවක්‌ දැක්‌වූ නිසයි.

හුඟක්‌ම පුංචි අවධියේ කවි ලීවා. පද නොගැළපුණත්, හරයක්‌ නොමැති වුවත් ඔහු ලිවීම අතපසු කළේ නැහැ. සුනිල්ගේ ඒ ආශාව නිසාම ඔහු අද ගීත රචකයකු වශයෙන් මෙවැනි තත්ත්වයකට පත්වූවා කියා මා සිතනවා.

පුංචි සුනිල්ගේ ලේඛන කලාවට ඇති රුචිය ඔයාකාරයෙන් වර්ධනය වෙද්දී පුංචි පුංචි කෙටි කතා ලිවීමට ඔහු උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුවකුව සිටියදී ඔහු ලියූ කෙටිකතා එක්‌ කොට පොතක්‌ වශයෙන් සකස්‌ කෙරුණා. 'අහිංසකයෝ' නම් වූ එම ළමා කෙටිකථා සංග්‍රහය කෙටිකතා දහහතකින් සමන්විත වුණා.

එහි එන "පොඩි සාදු" නම් කෙටි කතාව, එවකට එකොළොස්‌ හැවිරිදි සුනිල්ගේ හුරතල් අදහස්‌ හා භාෂාව තුළින් මතුවන ළාබාල ලේඛන හැකියාව මොනවට පිළිබිඹු වනවා.

මේ ඔහු ලියූ 'පොඩි සාදු' පුංචි කතාවයි.

"අර බලන්න අම්මෙ පාර දිගේ වැඩිය පොඩි සාදුගේ ලස්‌සන· ඇයි අම්මෙ මාව පොඩි සාදු කෙනෙක්‌ කරන්නෙ නැත්තේ? ඒ සාදු කොහෙවත් බලන්නෙ නැතුව හෙමින් හෙමින් යන්නෙ හයියෙන් හයියෙන් යන එක පව්ද අම්මේ? නෑ.... නෑ.... කූඹි පෑගෙන හිංදා වෙන්න ඇති. අනේ මටත් පොඩි සාදු කෙනෙත් වෙන්න ඇත්නම් කොච්චර හොඳද?

මට එතකොට පොඩි සිවුරක්‌ ඇඳගෙන පොඩි සාදුල එක්‌ක සෙල්ලම් බත් උයන්න පුළුවන් නේද අම්මේ? එතකොට තිලක්‌ අයියටයි, හේමක්‌කටයි, විමල් අයියටයි, රමණි නංගිටයි, නිමල් මල්ලිටයි මට බණ කියන්න පුළුවනි. මම ගෙදර නං එන්නෙම නෑ. තාත්තා අවොත් මාව එක්‌ක යන්න මං බුදුගේ ඇතුළට වෙලා හැංගිලා ඉන්නවා. තාත්තා යනකම්ම.

එක දවසක්‌ අම්ම කිව්වනේද සාදුල රෑට කන්නෙ නෑ කියලා. එතකොට මම සාදු කෙනෙක්‌ උනහම මට කන්න දෙන්නෙත් නැද්ද? හා... ඒකට කමක්‌ නෑ. මට සාදු කෙනෙක්‌ වෙන්න ඇත්නම් කන්නෙම නැතුව ඉන්න පුළුවනි. ඉතින් කියන්නකො අම්මෙ මාව පොඩි සාදු කෙනෙක්‌ කරන්නෙ කවදද කියලා? එතකොට තමයි මම අම්මට හුඟාරියක්‌ ආදරේ.

ඔය කතා ලියන්නට ඔහු සැප පහසුකම් සෙව්වේ නෑ. වෙනතක්‌ තබා පුටුවක්‌ මේසයක්‌ වත් ඔහුට වුවමනා වුණේ නැහැ. ඇඳ මත මුනින් අතට දිගාවීගෙන, ඇඳ මත පොත තබාගෙනයි සුනිල් ලියන්නට පුරුදුව සිටියේ. කතා රචනයට පමණක්‌ ඔහුගේ කලා ලැදි සිත කොටු වුණේ නැහැ. හත්වැනි පංතියේ පමණ ඉගෙනුම ලබද්දී අහල පහල ළමුන් සහ පවුලේ සොහොයුරු සොහොයුරියන් සමඟ එක්‌ වී මොහු නාට්‍යයක්‌ රඟ දැක්‌වූවා. එය රචනා කළේ ඔහුයි. වේදිකාව වශයෙන් ගත්තේ අපගේ ඉඩමක ගෙයක්‌ ඉදි කිරීම සඳහා තනා තිබූ අත්තිවාරමකුයි. ඒ මත ලෑලි දමා ලෑලි වැසෙන්නට බ්ලැන්කේට්‌ටුවක්‌ අතුරා වේදිකාව සාදාගත් සුනිල් ඇතුළු කුඩා ළමුන් ශත පහළොවක්‌ වටිනා ටිකට්‌ පත් විකුණුවා. ඒ හැරෙන්නට නාට්‍යය නැරඹීමට පැමිණියවුන් හට තේ පැන් සංග්‍රහයක්‌ද පැවැත්වූවා. සුනිල් එම නාට්‍යයේ රඟපෑවේ යක්‍ෂයාගේ චරිතයයි.

ඉන්පසු ඔහු පුවත්පත් වලට ලිපි ලීවා. ගීත රචනා කිරීමටත් පටන් ගත්තා. ගුවන් විදුලි වැඩසටහනක්‌ වූ පංච මදුර නම් වැඩසටහනට සුනිල් ලියා යෑවූ 'කටුකොහොලින් පිරුණු ලොවින්' නම් ගීතය සනත් හා වික්‌ටර් විසින් ගයනු ලැබුවා. එදා අද තෙක්‌ ඔහු රචනා කළ ගී අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන්නේ තාත්තා වෙනුවෙන් ලියූ මේ ගීතයටයි.

පියාණනී මා නැවත උපන්නොත්

අපාර වූ මේ සංසාරේ

ඔබේම පුතු වේවා!

ශිල්ප සතර දී සිහසුන ඉඳුවා

ඔබට අහිමි ලොව මා රජ කරවා

ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ

නෑ ඔබ වන් පියවරු හමු වන්නේ

හිත මිතුරන් මා හැර ගිය දවසේ

ලොවට එරෙහි වී තනි වුණු මොහොතේ

ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ

ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ

සකස්‌ කළේ -
රත්මලානේ ක්‍රිෂාන්ති
පිංතූර - ගාමිණී මෙන්ඩිස්‌

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.