අතීතයත් සමග වන්දනාවට ලක්‌ විය යුතු මුන්නේශ්වරම් පුදබිම

මුන්නේශ්වරම හැමදාම බැතිමතුන්ගෙන් පිරෙන්නේය. ආගම් භේද ජාතිභේද වලින් තොරව ලංකාවේ හතරදිග් භාගයේම මිනිස්‌සුන් මුන්නේශ්වරම් එන්නේය. දෙවියන් යදින්නේය.

ඉතිහාසය පුරාම මිනිස්‌සු මුන්නේශ්වරම් පැමිණියහ. මුල් කාලයේ මිනිසුන් මුන්නේශ්වරමට ආවේ දෙවියන් දකින්නටම නොවේ. බුදුන් වඳින්නටය. සියවස්‌ ගණනකට එපිට මේ පුදබිම හඳුන්වා තිබුණේ තුමුලසෝම විහාරය ලෙසය. අෂ්ඨ ඵල දෙන බෝධියක්‌ද මේ පුදබිමේ රෝපණය වී තිබුණේය. මේ බිම බෞද්ධ ආගමික මධ්‍යස්‌ථානයක්‌ වන්නට පෙර මුල්කාලීන ස්‌වදේශිකයන්ගේ පූජනීය ස්‌ථානයක්‌ වන්නට ඉඩ තිබිණි. මහින්දා ගමනයෙන් පසු බොදු පුදබිම් බවට පත්වූ බොහෝ ස්‌ථාන අතීත ප්‍රාග් බෞද්ධ ජනතාවගේ පූජනීය බිම් පෙත්ය.

ලෝකයේ යථාර්ථය මෙයයි. පූජනීය ස්‌ථානවල හිමිකම හෝ භාරකාරීත්වයේ ස්‌වරූප වෙනස්‌ වන්නේය. එහෙත් එහි වන්දනීය වටිනාකම හෝ පූජනීයත්වයේ අගය වෙනස්‌ වන්නේ නැත. එබැවින් එදා බොදු පුදබිම වන්දනා කළ බෞද්ධයෝත්, හින්දු වරුනුත්, දැන් මුන්නේශ්වරම් කෝවිල අපේක්‍ෂා සහිතව වන්දනා කරති.

මුන්නේශ්වරම් පිළිබඳ යළිත් අපි මේ ආකාරයට කතා කරන්නේ ඒ අවබෝධය සහිතවය.

මුන්නේශ්වරම් යටගියාව ගැන සොයා යැමේදී අපට මුලින්ම මුන ගැසුණේ ආර්. එස්‌. ටී. විශ්වරත්නම් මහතාය

අප අතීතයේ සිටම මුන්නේශ්වරම් දෙවිඳුනට සේවය කළ පිරිසක්‌. අපි අනාගතයටත් දෙවිඳුනට සේවය කිරීමට ඇප කැප වීමට සූදානම්. ඒත් මෙහි වර්තමානයේ ඇති ගැටලු විසඳා ගත යුතුයි. දෙවියන්ට සේවය කිරීමෙන් මිනිසුන්ට සහනය සුවය ලබා දෙනවා මිස දෙවියන් සතු, මිනිසුන් සතු දේ සොරා කෑම අප අනුමත කරන්නේ නැහැ.

වයඹ පළාතේ කෝට්‌ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර රාජකීය පණ්‌ඩිත, හිටපු විදුහල්පති හා පුලියන්කුලම වෙහෙරගල පුරාණ රජමහා විහාරස්‌ථානාධිපති පූජ්‍ය තම්මැන්නාවැටියේ රතනජෝති හිමියෝ මුන්නේශ්වරම පිළිබඳව මෙසේ පැවසූහ.

මුන්නේශ්වරම යනු අතීත බොදු ආශ්‍රමයක්‌. තමුලසෝම විහාරය යනුවෙන් දුරාතීතයේදී හැඳින්වූයේ මෙම ස්‌ථානයයි. අද වන විට එයය හින්දු බැතිමතුන් උදෙසා, වෙන් කරගෙන තිබෙනවා. එසේ වූවා කියා අප රණ්‌ඩු කරන්නේ නැහැ. සිංහල, දමිළ, බෞද්ධ හින්දු කිතුණු ඕනෑම අයෙක්‌ එම ස්‌ථානය වන්දනා මාන කරනවා. බෞද්ධයන්ට ද මෙම ස්‌ථානයේ බෞද්ධ චාරිත්‍ර - වාරිත්‍ර කිරීමේ ස්‌ථාන සාදා අවස්‌ථා ලබාදිය යුතුයි. බුද්ධගයාවේ මෙන් පාලන කමිටු සාදා ඒවාට බලතල බෙදා දිය යුතුයි. අප ආගමික සහජීවනයද පවත්වා ගත යුතුයි. මේ පුංචි සිරිලක්‌ දිවයිනෙහි අප සමගි සම්පන්නව දිවි ගෙවන බව ආගම් අදහන බව අප ආදර්ශයෙන්ම ලොවට පෙන්වා දිය යුතුයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනයද එයමයි.

පුත්තලම හින්දු මහා සභාවේ හිටපු සභාපති හා පුත්තලම හින්දු සාහිත්‍ය සංගමයේ සභාපති විශ්‍රාමික ප්‍රාදේශීය ඉංජිනේරු තාමෝදරම් මුරුගේසම් පිල්ලෙයි මහතා මුන්නේශ්වරම් කෝවිල පිළිබඳ මෙසේ කීය. මෙය වසර හයදහසක (6000) පමණ පැරැණි කෝවිලක්‌. මෙහි වන්දනා සමය රාම - රාවණා කාලය දක්‌වා පැතිරෙන බව අප අසා තිබෙනවා. භාරතයේ බ්‍රාහ්මණයන් මෙය පවත්වා ගෙන පැමිණියා. කුල වර්ග හැට හතරක සේවාකරුවන් මෙහි විවිධ සේවාවන් කර තිබෙනවා.

"ඊශ්වර දෙවියන් උදෙසා ලංකාවේ කෝවිල් පහක්‌ (05) ඉදි කොට ශිව ලිංගම් තනා තිබෙනවා. මුන්නේශ්වරම් (හලාවත) තිරුකෝනේශ්වරම් (ත්‍රිකුණාමලය) තිරුකේතීශ්වරම් (මන්නාරම), නගුලේෂ්වරම් (යාපනය), තාන්තොන්ඩිශ්වරම් (මුලතිව්) යනුවෙන් තනා ඇති මෙම දේවාලවල වාර්ෂික මංගල්‍ය පවත්වනවා. මෙම දේවාලවලට ලක්‍ෂ ගණන් බැතිමතුන් පුද පූජා පැවැත්වීමට එනවා.

අප කල්පනා කළ යුතුයි මේ පුද බිම් තනා ඇත්තේ කුමන හේතු නිසාද කියායි. අප අසමගි වන්නට බේද වන්නට නොවේ. ලෝකයේ වැරැදි කළ අයට එයින් මිදෙන්නට බැහැ. දෙවිඳුන් ඔවුන්ට දඬුවම් දෙනවා. තිරිසන් සතුන් බවට පත් වනවා. දෙවියන්ගේ කැමැත්ත අනුව ලොව ඉහළම සත්වයා ලෙස මිනිසා මවා ඇත්තේ හොඳ යහපත් දේ සිතා ක්‍රියා කරන්නටයි. මුන්නේශ්වරම් කොවිලෙන්ද මිනිසා යහපතට ගෙන යැමේත්, මිනිසුනට ආත්මික සහනය ලබා දීමේත් උත්තරීතර දේව සේවාව ඉටු වනවා. අප කවුරුත් එක්‌වී භේදයෙන් තොරව මේ පුද බිම රැකගත යුතුයි.

සත්කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර සම්බුද්ධ ධර්ම විශාරද, ලෝක බෞද්ධ තරුණ සංඝ සංවිධානයේ විධායක සභික ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රවේදී මලගනේ අත්ථදස්‌සී නාහිමියෝ මෙසේ කීහ.

මුන්නේශ්වරම් උරුමය සුරැකීම සඳහා වර්තමානයේ සංගමයක්‌ පිහිටුවා ගෙන තිබෙනවා. එහි වත්මන් සභාපති වශයෙන් මා එහි උරුමය සොයා යනවා.

කෙසේ නමුත් අප දන්නවා මෙය ඉපැරැණි බොදු පුද බිමක්‌ කියා. ඉන්පසු හින්දු දෙවොලක්‌ වූ බවත් දන්නවා.

ලෝකයේ එලෙස, එවැනි කාලීන විපර්යාස ඇති වනවා. අද අයෙක්‌ සතු දෙය හෙට අන් අයකු සතු වනවා. මේ භෞතික වස්‌තූන් පිළිබඳව ආශාවන් ඇති කර ගත යුතු නැහැ. දැන් ඔය ආණ්‌ඩු වෙනස්‌ වන්නේ. බලය සැමදාම එක තැන රැඳෙන්නෙන් නැහැ අයිතියත් එලෙසයි. අයිතිය ද අනිත්‍යයි.

අපි මුන්නේශ්වරමේ තිබිය යුතු පැවැතිය යුතු ආගමට වඩා එහි පැවැතිය යුතු දහම ගැන සිතමු. අතීතයේදී තිබූ උරුමය අනාගත දරුවන්ටත් බලා ගත හැකි වන පරිදි සුරක්‍ෂිත කළ යුතුයි.

විකෘති කිරීම හෝ වෙනස්‌ කිරීම කළ යුතු නැහැ. උදාහරණයක්‌ ලෙස මුන්නේශ්වරම පුද බිමේ ඇති අෂ්ඨ ඵලරුහ බෝධි වෘක්‍ෂය, ස්‌වභාවිකව වැඩෙන්නට පවතින්නට ඉඩ දිය යුතුයි. එහි බෞද්ධ වත් පිළිවෙත් ඉටු විය යුතුයි. නැතිව ඒ අවට දේව රූප තැනීම නොකළ යුතු දේයි. බෝ ගසක හෝ තවත් වෙනත් ගසක ඇති අයිතිය, උරුමය විනාශ නොකළ යුතුයි. බෞද්ධයන් ද හින්දුන් ද හොඳ මිත්‍රයින්. මිත්‍රකම ආරක්‍ෂා කර ගැනීම අපගේ වගකීමක්‌.

සිංහල, දමිළ, මුස්‌ලිම්, බොදු, හින්දු, කිතුණු ආදී සියලු ජාතීන් ආගම් නියෝජනය කරමින් එකට සමගිව වෙසෙන අප භේද බින්න කරන්නට තැත් කළ උදවියට අවසානයේදී උරුම වූයේ ශාපකාරී මරණයයි. ඉතිහාසයේ කුණු බක්‌කියයි.

මුන්නේශ්වරම් බොදු හින්දු පොදු පුද බිම අද අපට කියා පාන්නේත් මෙවන් සනාතන දහමකි. ඊයේ බොදු පුද බිම අද හින්දු ය. හෙට මුස්‌ලිම්වරුන්ගේ ඉස්‌ලාම් පුද බිමක්‌ වීමටද හැකි වනු ඇත. ඇවැසි වනුයේ අතීත උරුමයන් සුරැකගෙන ඒවා අනාගතය දක්‌වා රැගෙන යැමය.

ටෙරන්ස්‌ වනිගසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.