කොළඹ ලෝක වෙළෙඳ
මධ්‍යස්‌ථානයේ වැසිකිළිවල වතුර
නැත්තේ වියළි ප්‍රතිපත්තිය නිසාලු


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික මර්මස්‌ථානයක්‌ වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ඇති කාර්යාලවල සහ ඊට පැමිණෙන සේවකයන්ට භාවිත කිරීමට ඇති වැසිකිළිවල පරිහරණය සඳහා ජලය නොමැති වීම හේතුවෙන් අදාළ සියලු පිරිස්‌ මහත් අපහසුතාවට පත්ව සිටිති.

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ එක්‌ කුලුනක්‌ මහල් 37 කින් සමන්විතයි. ඒ සෑම මහලකටම වැසිකිළි සාදා තිබුණද තම ශරීර කෘත්‍ය නිසි අයුරින් ඉටුකරගැනීමට හැකි ජලය සහිත එකදු වැසිකිළියක්‌ හෝ මෙහිදී සොයාගත නොහැක.

ශරීර කෘත්‍ය සිදුකිරීමෙන් පසු පිරිසිදු කිරීමට සෑම වැසිකිළියකම ඇත්තේ පවිත්‍රතා කඩදාසිය. කෙසේ වෙතත් පිරිසිදු කිරීම සඳහා ඇති පවිත්‍රතා කඩදාසි සොයාගත නොහැකිවන අවස්‌ථාද ඕනෑතරම් ඇති බව මෙහි සේවය කරන බොහෝ පිරිස්‌ පවසති. "භාවිතයෙන් පසු හොඳින් වතුර යොදන්න" ලෙසට සඳහන්ව තිබුණත් ශරීරය පිරිසිදු කරගැනීමට හෝ ජලය ලබාගැනීමට කිසිදු ජල උපකරණයක්‌ මෙහි සවිකර නැති බව ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ සේවය කරන පිරිස්‌ සිහිපත් කරති. එපමණක්‌ නොව මෙම පවිත්‍රතා කඩදාසිය හේතුවෙන් අපහසුතාවට පත්වන පිරිස අතරට කාන්තාවන්ට විශේෂ තැනක්‌ හිමි වේ. විශේෂයෙන්ම මාසික ඔසප් චක්‍රය හමුවේ කාන්තාවන් මුහුණපාන අපහසුතාව පිළිබඳවද මෙහිදී සිහිපත් නොකර සිටිය නොහැක.

සංස්‌කෘතිය හා නිරන්තරයෙන් බැඳී සිටින ලාංකේය ජනතාව ශරීර කෘත්‍ය ඉටුකර ගැනීමෙන් අනතුරුව ජලය යොදා තම ශරීරය පිරිසිදු කිරීම අනිවාර්යයයෙන් සිදුකරන කාර්යයකි. නමුත් වැසිකිළි ඇති ජලය නොමැති ශ්‍රී ලංකාවේ එකම සුඛෝපභෝගී ගොඩනැඟිල්ල ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය පමණක්‌ද යන්න විමසා බැලීම වටියි. මෙම සනීපාරක්‍ෂක ගැටලුව පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන නි.අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා මේ වන විට අවධානය යොමු කොට අදාළ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කොට ඇති බවද දැනගන්නට ලැබේ. නමුත් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ කළමනාකාරිත්වය සඳහන් කර ඇත්තේ වැසිකිළිවල වියළි ප්‍රතිපත්තියක්‌ පැවැතිය යුතු නිසා ඊට ගත හැකි ක්‍රියාමාර්ගයක්‌ නොමැති බවයි.

1997 ඔක්‌තෝබර් මස 12 වැනිදා ඉදිකරන ලද ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට අද වනවිට වසර 16 ක පමණ ඉතිහාසයක්‌ ඇත. වසර ගණනාවක්‌ පුරාවටම මේ වැසිකිළි හබය සියලුදෙනා අතර පැවැති කසුකුසුවක්‌ පමණි. නමුත් අද එය වෙනස්‌ වී ඇත. මෙම ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ගැටලුව පිළිබඳව දිනපතා රාජකාරි සිදුකරන දහස්‌ සංඛ්‍යාත සේවක පිරිසගේ මතය දැන් වෙනස්‌ වී ඇත. ඔවුන් සියලු දෙනාගේ අදහස මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලැබිය යුතුය යන්නයි.

වියළි ප්‍රතිපත්තියක්‌ නොව මහජන හිතෛෂී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් මෙම වැසිකිළි ගැටලුවට විසඳුම් සෙවීමට නි.අමාත්‍ය µයිසර් මුස්‌තාපා ඉදිරියටත් කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරන බවටද තොරතුරු අනාවරණය විය. නිසි ක්‍රියාමාර්ගයක්‌ නොගතහොත් නීතිමය පියවර ගැනීමට පවා ඔහු යොමුවිය හැකි බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.