දම්සක්‌ පැවතුම් සූත්‍රය දෙසූ ඇසළ පොහොය

බුදු සිරිත හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ පසළොස්‌වක පොහොය කීපයක්‌ම අපි සැදැහැතියෙන් සැමරුවෙමු. වෙසක්‌ පුර පසළොස්‌වක හා පොසොන් පුර පසළොස්‌වක එම පෝය දිනයන්ය. බොදු හදවත තුළින් මේ උණුසුම මැකීයන්නට පෙර එවන් වැදගත් සිද්ධි රැසක්‌ සිදු වූ තවත් උත්තරීතර දිනයක්‌ එළඹෙනු ඇත. ඇසළ පුර පසළොස්‌වක පෝය එදවසයි.

බුදු දහමේ ආලෝකයෙන් දෙවි, මිනිස්‌ හදවත් සැනසූ මිනිස්‌ ලොව පටන් අකනිටා බඹලොව තෙක්‌ සාදු නදින් ගිඟුම් දුන් හැමගේ බුද්ධිම ඥානයට මාවත විවර වූ ලොව පවතින සත්‍ය වූ ධර්මය මානව වර්ගයාගේ සිත් තුළ මුල් බැසගත් තෙරුවන් පහළ වූ දිනය වශයෙන් මෙය ශාසන ඉතිහාසයට එක්‌ව ඇත. එදවස " ඇසළ පුර පසළොස්‌වක පෝය" වශයෙන් අපි හඳුන්වමු.

මේ ලෝකයේ පහළවූ ශේ්‍රෂ්ඨ උත්තමයාණන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේය. "සුඛෝ බුද්ධානං උප්පාදෝ" බුදුරජාණන් වහන්සේලාගේ උපත සැපතට හේතුවේ. කාලාන්තරයකින් මෙය සිදු වන්නකි.

"කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ" යන්නෙන් ද එය පැහැදිලිවේ. බුදු බව පතා කළ යුතු කාර්යයන් බොහෝය. අප ගෞතම බෝසතාණන් වහන්සේ මේ සඳහා සසර බොහෝ කාලයක්‌ කැපවීම් කර ඇත. සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පුරා ඇතැයි දැක්‌වේ. මෙය සුළු පටු කාලයක්‌ නොවේ. මේ අසීරු තත්ත්වය වර්ණනා කිරීමට පෘතග්ජන කිසිවකුට නොහැක. මේ සඳහා සුදුසුවන්නේ එවන් බුදුවරයෙකුම පමණි.

"එවං අචින්ත්‍යා බුද්ධා, බුදු ගුණය අචින්ත්‍යය"

සිදුහත් බෝසතාණන් වහන්සේ පළමුව නියත විවරණය ලබන්නේ දීපංකර බුදු හිමියන්ගෙන්ය. මෙය සිදුවන්නේ වෙසක්‌ පුන් පොහෝ දිනකය. එතැන් පටන් විවිධ ආත්මභාවයන්හි ඉපිද දාන, සීල, නෙක්‌ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්‌ඨාන, මෙත්තා, උපෙක්‌ඛා යන දස පාරමි දස උපපාරමි දස පරමත්ථ පාරමි යන සමතිස්‌ පෙරුම් පුරා "ඤණත්ථ චරියා, ලෝකත්ථ චර්යා, බුද්ධිචර්යා" සම්පූර්ණ කරමින්.

මනෝපුණිධාය වග්පුණිදාය යනුවෙන් හඳුන්වන මනසින් හා වචනයෙන් සොළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ තුළ බුදුවරු පන්ලක්‍ෂ දොළොස්‌ දාහක්‌ දැක වැඳ සිතින් හා වචනයෙන් බුදු බව පතා ඇත. මේ පාරමී ගුණ සම්පූර්ණ කිරීමෙන් පසු තුසිත දෙව්ලොව, ඉපිද ඇත.

මින් චුත වූ බෝසතාණෝ කපිලවස්‌තු පුරවරයේ සුද්ධෝදන රජුගේ බිසව වු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. මෙය සිදු වුයේ ද ඇසළ පොහෝ දිනකය. අවුරුදු 29 තෙක්‌ ගිහි සැප විඳ සතර පෙර නිමිති දැක කලකිරී ගිහි ගෙයින් නික්‌ම කිංකුසලගවේශි වු ප්‍රවෘඡ්ජා භූමියට පිවිසියහ. මෙතැන් පටන් බුදු බව පතා දුෂ්කර ක්‍රියාකොට අත්ථ කිලමතානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙක අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් සුජාතා දේවිය පිදු කිරිපිඬු වළ¹ වෙසක්‌ පුන් පෝ දින ඇසතු වෘක්‍ෂ මූලයේදී කෙළෙසුන් නසා චතුරාර්ය සත්‍යාවබෝධය ලැබූහ. (බුද්ධත්වයට පත්වූහ)

උන්වහන්සේ අවබෝධ කරගත් මේ ගැඹුරු දහම පළමුව දේශනා කිරීමට ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර යන තවුසන් ගැන සොයා බැලූහ. මේ දෙපළ කලුරිය කොට ඇති බැවිනි. දුෂ්කර ක්‍රියා සමයේ උපකාර කළ පස්‌වග තවුසන් සුදුසුයයි තීරණය කළහ. මොවුන් බරණැස ඉසිපතනේ සිටින බව දැනගත් බුදු හිමි බරණැස ඉසිපතනයට වැඩම කළහ. බුදුන්වහන්සේගේ වැඩමවීම පස්‌වග තවුසන් දුටහ. ඔවුන් කතිකාවක්‌ ඇති කර ගත්හ. බුදු බව ලබා ගැනීමට නොහැකිව බෝසතාණෝ නැවත අපව සොයා එන බවත් ඒ නිසා හුනස්‌නෙන් නැගී සිටීමවත් ඉදිරියට ගොස්‌ පාත්‍රා, සිවුරු නොගැනීමටත් වැඳුම් පිඳුම් නොකිරීමටත් ගත් ඒ තීරණයයි.

නමුත් බුදුහිමි ළංවත්ම ඒ සියලු තීරණ වෙනස්‌ විය. පස්‌දෙනාම පෙරගමන් කොට බුදුන් වහන්සේට වැඳ නමස්‌කාර කර පිළිගත්හ. උන්වහන්සේ වැඩම කළ කාරණය පැහැදිලි කළහ. ඔවුහු බලවත් සතුටට පත් වූහ.

බරණැස ඉසිපතන මිගදාය සිත්කළු පරිසරයකි, කෙළිදෙළෙන් නිදහසේ ඔබ මොබ හැසිරෙන මුව පැටව් නෙතට ගතට සුවයකි. විවිධ පක්‍ෂින්ගේ කන්කළු නාදය වීණාවකින් වැයෙන මියුරු රාවය මෙනි. හාත්පස ගලායන දිය ඇළි, ඵල මලින් පිරුණු තුරුලතා, කඳු බෑවුම් විචිත්‍රවත් වුයේ බුදුහිමි ඇසුරු කළ ඇළුම් කළ, සොබා දහමද ධම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් යයි පවසන්නාක්‌ මෙනි.

මේ සොඳුරු වන පෙත මැද පනවන ලද ධර්මාසනය මත බුදුහිමි වැඩ වෙසෙමින් පස්‌වග තවුසන් ප්‍රධාන රැස්‌ වූ දහඅට කෝටියක්‌ දෙව් බඹුන් අමතා "තත්‍ර ඛෝ භගවා පංච වග්ගියේ භික්‌ඛු ආමන්තෙසි" යනුවෙන් පටන් ගෙන දම්සක්‌ පැවතුම් සුත්‍ර දේශනාව පටන්ගත්හ. මෙය ගැඹුරු දහමකි. බුදු දහමේ සැබෑ හරය මෙහි අන්තර්ගතය. චතුරාර්ය සත්‍ය ඇතුළු දහම් කරුණු රාශියකි. බුදු දහමේ ඉගැන් වෙන ගැඹුරු දර්ශනයට මෙය මූලික වූ සාධකයකි.

පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. පෘථග්ජනයන් විසින් සේවනය කරන හීන වූ, ග්‍රාම්‍ය වූ අනාර්ය වූ, කාමසුඛල්ලිකානු යෝගයත් අත්ථකිලමතානු යෝගයත්ය. කාම සුඛල්ලිකානු යෝගය නම් වස්‌තුකාම, කෙළෙස්‌කාම පිළිබඳ අප තුළ පවතින තෘෂ්ණාවයි ආශාවයි. මේ කාමයන් ෂඩ් විධ වේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්‌ඨම්බ, දම්ම යනුවෙනි. ස්‌ත්‍රී පුරුෂ, ධනධාන්‍ය සියලුදේ වස්‌තුකාමයන්ය. මේ වස්‌තුන් පිළිබඳ සත්ත්වයාට උපදින ආශාව කෙළෙස්‌ කාමයයි. දෙයාකාර වූ මේ කාමයන්හි යමෙක්‌ ඇලී ගැලී වාසය කරයි නම් එය කාම සුඛල්ලිකානුයෝගයයි.

අත්ථකිලමතානු යෝගය නම් ශරීරයට දුක්‌ දීමයි. එදා දඹදිව විමුක්‌තිය පතා බෝහෝ දෙනෙක්‌ ශරීරයට දුක්‌ගෙන දුන් ව්‍රත ක්‍රම අනුගමනය කළහ. අධික ශීතලේ සිටීම, ගිනි තැපීම, ගිනි මත ඇවිඳීම, ඇණ, කටු මත නිදාගැනීම, වැනි වැරදි ව්‍රත ක්‍රම ශරීරයට පීඩාවකි. ඒ අන්තය අත්ථකිලමතානුයෝගයයි.

බුදුහිමි මේ ගැන දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාවේදී හඳුන්වන්නේ මේ අයුරිනි.

"ථෙමේ භික්‌ඛවේ අන්තා පබ්බජිතෙන සේවිතබ්බා යෝචායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මො පොතුඡ්ජනිකෝa අනරියෝ අනත්ථ

සංහිතෝ යොචායං අත්ථකිලමතානු යෝගො දුක්‌ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතෙතෙ භික්‌ඛවේ උභෝ අන්තේ අනුප ගම්ම මඡ්ජිම පටිපදා තථාගතෝ අභිසම් බුද්ධා චක්‌ඛුකරණි උපසමාය අභිඤ්ඤය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, යනුවෙනි.

මින් පසු බුදුහිමි මහණෙනි මේ අන්ත දෙකහැර, නුවණැස පිරිසිදුකරන ඥානය පහළ කරන කෙලෙස්‌ දුරු කරන විශ්වඥාණය පිණිස නිර්වාණය පිණිස හේතු වන මධ්‍යම ප්‍රතිපදාව මා විසින් අවබෝධ කරගනිමි.

කත මා වසා භික්‌ඛවේ මඡ්Cධිමා පටිපදා තථාගතේන අභිසම් බුද්ධා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤාඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. අය මේව අරියෝ අට්‌ඨංගිඛො මගෙගා යනුවෙනි.

මධ්‍යම ප්‍රතිපදා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්‌තර කර දුනි.

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මවාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මා වායාම,සම්මා සති, සම්මා සාමාධි යන මේ අංග අට තණ්‌හාව නැතිකර නිවන ලබා ගැනීම පිණිස හේතු වන බවත් හැම පුද්ගලයකු විසින්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු බවත් ඉන් අවධානය කෙරෙණි.

මේ ආදි වශයෙන් දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්‌ඩඤ්ඤ තාපසතුමා, චතුසත්‍යාව බෝධය ලබාගත්හ. බුදු හිමි ඒ බව ප්‍රිති වාක්‍යකින් මෙසේ ප්‍රකාශ කළහ.

අඤ්ඤාසි වතභෝ කොණ්‌ඩඤ්ඤො අඤ්ඤාන වතභෝ කොණ්‌ඩඤෙඤ්ති ඉති හිදං ආයස්‌මතෝ කොණ්‌ඩඤ්ඤස්‌ස අඤ්ඤා කොණ්‌ඩඤේඤෙFවව නාමං අහෝසිති යනුවෙනි. මින් පසු අඤ්ඤා කොණ්‌ඩඤ්ඤය නම් විය.

රැළපනාවේ ධම්ම ජෝති හිමි
අනුරාධපුර ලංකා රාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.