දහම් අධ්‍යාපනයේ මාත්‍රාව වැඩි කළ යුතු...

කලක සිටම පෞද්ගලික උපකාරක පංති තහනම් කොට ඉරිදා උදෑසන දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට නොයෙකුත් බෞද්ධ ආයතනයන් මෙන්ම, තවත් සංවිධාන බොහොමයක්‌ විසින් විටින් විට උත්සාහ කරන ලදි. කවුරු කොතෙක්‌ උත්සාහ කළද, රජය ඒ සඳහා සෘජුව මැදිහත් නොවූයේ ඉරිදාවන්හි දී පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කැරෙන නීති සම්පාදනය කිරීමට වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බාධකයක්‌ වී ඇති බැවිනි.ඒ බැව් හිටපු නීතිපතිවරයා පෙන්වා දීමෙන් අනතුරුව, ඉරිදාවන්හි දී පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කෙරෙන නීති සම්පාදනය කිරීම සඳහා දැරූ උත්සාහයට, රජයට මැදිහත් විය නොහැකි බව හිටපු අග්‍රාමාත්‍යතුමාද වරක්‌ ප්‍රකාශ කර ඇති පුවතක්‌ පුවත්පතක දුටිමි.

කෙසේ වුවද, මොනයම් හෝ ක්‍රමයකින් ඉරිදා උදෑසන පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමට බාධා කොට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ පමණින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවේද යනු, ඒ පිළිබඳව ගැඹුරින් සිතන යමෙකුට ගැටලුවකි. එවැනි ආකල්ප ඉටුකර ගැනීම පිණිස ක්‍රියාත්මක වීමේදී, සෑම නිවසක්‌ම පෞද්ගලික උපකාරක පංතියක්‌ බවට පත්වීමට ද ඉඩ තිබේ.

5 ශිෂ්‍යත්ව විභාගය අරමුණුකොට මේ දිනවල පැවැත්වෙන පොදු සම්මන්ත්‍රණ ඒ සඳහා හොඳම උදාහරණයකි.පෞද්ගලික උපකාරක පංති පමණක්‌ නොව නොයෙකුත් පළාත් සභා විසින් සංවිධානය කරන බොහෝ සම්මන්ත්‍රණද ඉරු දිනවලදීම යොදා ගැනීම තුළින්, දහම් පාසල් අධ්‍යාපනය එතරම් ගණනකට ගෙන ඇති බවක්‌ නොපෙනේ.

දහම් අධ්‍යාපනයෙහි මූලිකම අරමුණ දහමට අදාළ දේ ඉගැන්වීමය. දෙමළ භාෂාව, ඉංගී්‍රසි, ගණිතය හෝ විද්‍යාව වැනි විෂයන් පිළිබඳව දැනුමක්‌ ලැබීමට කිසිවෙක්‌ දහම් පාසල් වෙත යන්නේ නැත. එබැවින් දහම් පාසලේ මූලිකම අරමුණ වන්නේ බුදුදහම ඉගැන්වීමය.

මෙය කොතරම් වගකීමකින් ඉටුකළ යුතු අසීරු කාර්යයක්‌ දැයි මානසික සුවතාව නැමැති බෝගොඩ ප්‍රේමරත්නයන්ගේ කෘතියේ සඳහන් කොට ඇත්තේ මෙසේය.

'බුදු දහම ඉගැන්වීමේ එකම අරමුණ අප ඇසුරට එන අන් අයගේ හිත සුවපත් කිරීමයි. ඔබත්, ඔබේ සිසු දරුවනුත් මේ මොහොතේ එකම පරිසරයක රැස්‌වී සිටිනවා වාගේම, එක හා සමාන මානසික පරිසරයක ජීවත් වන තත්ත්වයක්‌ ඇති කරගත යුතුයි.'

'බුදු දහම ඉගෙනුමේ අරමුණ මානසික සුවතාව හෙවත් දුක්‌ කරදරවලින් හිත නිදහස්‌ කර ගැනීම බව කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ස්‌වභාව ධර්මයට පටහැනිව හිත හැසිරවීම දුකට මූලික හේතුව බව කිව හැකිය. ඒ නිසා හිත වැඩ කරන විධි දැන හඳුනා ගෙන, හරි හැටියට හිත හසුරුවා ගැනීමට පුරුදු පුහුණු වීම බුදු දහම ඉගෙනුමේ අරමුණයි. අපේ සිසු දරුවන් දැනුම ලබා ගන්න පුරුදු වෙලා ඉන්නේ ගුරුවරුන් කියන දේට ඇහුම්කන්දී පොතපත කියවා බලා. මේ දෙවිධියෙන්ම කෙරෙන්නේ තමන්ගේ ජීවිතයට පිටින් තියෙන දේ ගැන ඇහැට පේන විධියට, කනට ඇහෙන විධියට දැන ගැනීමයි. බුදු හිමියන් මේ දේවල් හඳුන් වන්නේ පරතෝ ඝෝසෝ කියාය. අනුන් ගේ කතාබහ කියන ශබ්ද ශාස්‌ත්‍රය හරහා ගලා එන අදහස්‌. මෙය බුදුදහම ඉගෙන ගැනුම වන්නේ නැති බවත් උන්වහන්සේ අවධාරණය කොට තිබෙනවා.'

මේ අනුව බුදු දහම ඉගෙන ගැනීමත්, ඉගැන්වීමත් බරපතළ බුද්ධිමය ව්‍යායාමයකි. දහම් පාසල් අධ්‍යාපනය සඳහා සුදුසු අකෘතියක්‌ ගොඩනැඟීමටවත් කටයුතු නොකරමින්, දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට දරන උත්සාහයෙන් සමාජ සුබවාදී ප්‍රතිඵලයක්‌ බලාපොරොත්තු විය හැකිවේද?

අධාර්මිකව උපයාගත් ධනයෙන් හෝ, මතුවට යම් යම් ධාර්මික වැඩකටයුතුවල නියෑලීමෙන්, පෙර කරන ලද අකුසලකර්මය හේතුවෙන්, ලැබීමට නියමිත බලගතු ප්‍රතිවිපාක බොහෝ දුරට දුරුවන බව එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ විද්යුත් මාධ්‍යයෙන් දේශනා කරනු ඇසිණි.

මෙය බුදුදහමට අනුව කොතෙක්‌ සාධාරණ ධර්මෝපදේශයක්‌ දැයි නොතේරේ. එවැනි දේශනා බුද්ධ දේශනා විය නොහැකිය. ඇතැම් විට එවැනි දේශනා, තමුන්ගේ ප්‍රායෝගික තත්ත්වයෙන් තමුන් විඳින වදවේදනාවලින් හිත සුවපත් කර ගැනීම පිණිස එම හිමියන් විසින්ම දේශනා කරගත් ධර්මයක්‌ විය හැකිය. අපේ දුවා දරුවන්ට ද දහම් පාසලේ දී හෝ, මෙවැනි දේවල් ඉගෙන ගැනීමට ලැබුණහොත් අනාගත සමාජයට උදාවන කල දසාව වර්තමානයට වඩා ශෝචනීය විය හැකිය.

ගුරුවරියක්‌ දණගස්‌වන ලද, පළාත් සභා මන්ත්‍රීවරයා මෙන්ම, අල්ලස්‌ ගත් බවට චෝදනා ලැබ සිටින අධිකරණ විනිසුරුවරයාද ඇතැම් විටක දහම් පාසල් අධ්‍යාපනය ලැබූවන් විය හැකිය. මෙයට අමතරව සියයකට ආසන්නව චෝදනා ලැබ සිටින ආණ්‌ඩු පක්‍ෂයේ දේශපාලකයන්aද බොහෝ දුරට දහම් පාසල් යන්නට ඇත. ඒ අය ගැන වැඩිපුර කථා බහ කෙරෙන්නේ දැනට ආණ්‌ඩු පක්‍ෂයේ සිටින බැවිනි. ජයවර්ධන යුගයේදී මහා ඇදුරු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දෙපාවලින් හරකකු මෙන් ඇදගෙන ගොස්‌ පහර දුන් පාහරයන්ද වැස්‌සකට හෝ දහම් පාසලකට ගොඩ වන්නට ඇත. අග්ගොන චන්දරේ මෙන්ම, ජුලංපිටියේ අමරෙලාද දහම් පාසල් යන්නට ඇත. කියන කතාවලින් ජනතාවට මූණත්තහඩු පෙන්වන ඇතැම් පාර්ලිමේන්තු ජෝකර්ලාද ගමේ දහම් පාසලින් අධ්‍යාපනය ලබන්නට ඇත.

මෙවැන්නන් දහම් පාසල් ගියත් ඉන් වැඩක්‌ වී නැත. ඉන් ගම්‍ය වන්නේ දහම් පාසල වැඩක්‌ නොවන තැනක්‌ යෑයි තර්ක කිරීම නොවේ. බෝගොඩ ප්‍රේමරත්නයන්ගේ උදාර අදහස ගැලපෙන්නේ, මෙවැනි නරුමයන්ද දහම් පාසල් අධ්‍යාපනය ලැබුවත් සැබෑ දහම් අධ්‍යාපනයක්‌ ලබා දී ඔවුන් සුමගට යොමු කිරීමේ වගකීම බොහෝ දහම් පාසල් තුළින් ඉටු නොවී ඇති බැවිනි. දහම් අධ්‍යාපනය සඳහා සුදුසු ආකෘතියක්‌ ගොඩනැඟීම ජාතික වගකීමක්‌ වී ඇත්තේ එබැවිනි.

පසුගිය දශක දෙක තුනක සිට මේ ධර්මද්වීපයේ ජනතාව තුළ පැවති ගුණ දහම් සීග්‍රයෙන් විනාශ වී ගොස්‌ ඇති බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. භෞතික සම්පත් වැඩි දියුණු වූ බව සැබෑවකි. අමාවතුර බුත්සරණ වැනි ජාතික සාහිත්‍යය විනාශ වීමට ඉඩදී තාක්‍ෂණයෙන්ම පමණක්‌ රට ගොඩගන්නට උත්සාහ කරන්නට යැමේදී මේ සියල්ල විනාශ වන බව නැවත නැවතත් කිවයුතු නොවේ.සංස්‌කෘතිය බල්ලට දමා ජාතියක්‌ ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම් එය කිසිදිනක ඉටු නොවන බව දිගින් දිගටම පෙන්වා දිය යුතු නැත.

මැදහත්ව සිතා බලන කෙනෙකුට මේ සිදුවන විනාශයන් දෙස විචාරවත්ව සිතා බැලීමේදී හිත හදා ගත හැකි දේ ද නැතිවා නොවේ. කොසොල් රජු දුටු සිහින දහසය කෙමෙන් කෙමෙන් සැබෑවන යුගය ළඟා වෙමින් තිබේ.

සමාජය පිරිහීමේ කඩිනම් පියවර ආරම්භ වූයේ 80 දසකයේ මුල සිටය. එතෙක්‌. දහම් අධ්‍යාපනයෙන් ලබාදුන් දේ එවකට ප්‍රමාණවත් වුවද, වර්තමානයේ දහම් අධ්‍යාපනයේ මාත්‍රාව වැඩිකර දිය යුතුව තිබේ. එසේ නොවන්නේ නම් එක්‌ ගුරුවරියකට පමණක්‌ නොව සමස්‌ත ගුරු පරපුරටම දේශපාලන හෙන්චයියලා ඉදිරියේ දණ ගැසීමට සිදුවනු ඇත.

වර්තමානය වන විට පළාත් සභා, ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභා නියෝජිතයන්ගෙන් බන්ධනාගාරය පිරී ඉතිරී ගොස්‌ ඇත. මෙය දිනෙන් දින අඩු වන ලකුණු නොව, වැඩි වන ලකුණු පහළ වෙමින් තිබේ. ජනතාවට අවශ්‍ය වන්නේ මේ අපරාධකරුවන්ට ලබාදුන් දඬුවම මිස, උන්ව ආරක්‍ෂා කිරීමට වෙර දරන, ඊට නොදෙවෙනි අපරාධකරුවන්ගේ විලි ලඡ්ජා නැති තර්ක විතර්ක නොවේ.

කෙසේ වුවද මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ ආකල්පමය වෙනසක්‌ තුළින් පමණි. එබැවින් දහම් මත්‍රාව වැඩි කර දිය යුතුය. දහම් පාසලකට තබා පාසලකටවත් වැස්‌සකට ගොඩ නොවූ ඇතැම් දේශපාලකයන්ට දහම් මාත්‍රාව වැඩි කොට දීමද ගැටලුවකි. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීමට කාලය පැමිණ ඇත. සමස්‌ත සමාජයටම මෙන්ම, අනාගත ලක්‌දෙරණම විනාශ කරන මේ අපරාධකරුවන්ට දහම් අධ්‍යාපනය කෙසේ ලබාදිය යුතු දැයි සැලසුම් කිරීමට වහවහාම විද්වත් මණ්‌ඩලයක්‌ පත්කළ යුතුය.

මෙහිදී, අවධානයට ගත යුතු කරුණු රාශියක්‌ තුඹුල්ලේ සීලක්‌ඛන්ධ හිමියන් ලියූ 'අස්‌ගිරි මහා විහාරයේ ප්‍රභවය විකාශය හා තදානුබද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය' නමැති කෘතියෙහි ඇතුළත් කොට තිබේ. එහි එක්‌ ඡේදයක මෙසේ සඳහන් වේ.

'පොදුවේ බලන විට නූතන භික්‍ෂූ අධ්‍යාපනයේ අඩුපාඩු එමටය.ඒ බව කාගේත් පිළිගැනීමයි.විෙද්‍යාදය, විද්‍යාලංකාර පිරිවෙන් විශ්aවවිද්‍යාල තත්ත්වයට පත්වන තුරු ආරක්‍ෂා වුණු, පෝෂණය වුණු, වර්ධනය වුණු සම්ප්‍රදාය ප්‍රාචීන අධ්‍යාපනය මෙන්ම ථෙරවාද අධ්‍යාපන සම්ප්‍රදාය මේ සියවසෙහි මැද භාගයෙන් පසු ක්‍රමයෙන් අඩාල විය.රජයේ විභාග පටිපාටිය හා සම්බන්ධ වීමද මේ පරිහානියට හේතු විය. පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත්කරන විටත් විශ්ව විද්‍යාල තත්ත්වයේ උසස්‌ මට්‌ටමක ඒවායෙහි අධ්‍යාපනය පැවතුණි. පිරිවෙන්, නමින් පිරිවෙන් වුවද. අධ්‍යාපන මට්‌ටමින් විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පැවතුණ බව එකල පිළිගැනීම විය.මෙසේ, දෙපිරිවෙන් මෙම විශ්ව විද්‍යාල තත්ත්වයෙන් පැවතියේ එහි පවත්වාගෙන ආ උසස්‌ මට්‌ටමේ සාම්ප්‍රදායික අධ්‍යාපන ව්‍යqහය නිසාය.මේ හේතුවෙන් පිරිවෙන් දෙකට විශ්ව විද්‍යාල නාමය දෙමින් 1959 දි රජය ක්‍රියා කළේ බෞද්ධ සංස්‌කෘතිය ආරක්‍ෂා වන පරිදි පාළි, සංස්‌කෘත, තර්කන්‍යාය යන පාරිවේණික අධ්‍යාපනය වඩාත් පුළුල් කොට ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පවත්වමින් ධර්ම විනය දෙකට මුල් තැන දෙන පැරණි ථෙරවාද බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය ශක්‌තිමත් කිරීමටය.මේ අයුරින් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්‌කරණය කිරීමේ අවශ්‍යතාව දැනට කලයක සිටම පැවත එයි.'

වර්තමානයේ ඇතැම් පිරිවෙන් ටියුෂන් පංති පමණක්‌ නොව කේක්‌ වැඩ, මනාලියන් හැඩ ගැන්වීම්, රූපලාවන්‍ය මෙන්ම එන්.ජී.ඕ හොර නඩයන්ගේ තිප්පොළවල් බවට පත්කර ගෙන ඇත.බොහෝ පළාත් තුළ දහම් පාසල් වලට, ඇතැම් දෙමාපියන් සිය දරුවන් යොමු නොකිරීමටද ඉහත තත්ත්වය සෘජුව බලපා ඇත.

ලඡ්ජා බිය හඳුනන, පිං පව් කෙරෙහි හැඟීමක්‌ ඇති චරිතවත් පුද්ගලයකු බිහි කිරීම දහම් පාසලක්‌ පවත්වාගෙන යැමේ අරමුණු අතර.ප්‍රධානතම අරමුණ වේ.

බුදු දහම ඉගැන්වීමේ අරමුණ මෙන්ම එය ඉටුකර ගැනීමට ඇති ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ඉගැන්වීම තුළින් දහම් අධ්‍යාපනය වඩාත් අර්ථවත් කළ හැකිය යනු මාගේ හැඟීමයි.

අයි. ජී.එල්.ජයවීර
 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.