එජාපයෙන් යන්නේ නෑ
හෙට විශේෂ ප්‍රකාශයක්‌ කරන්නෙත් නෑ

ඊයේ දහවල් 1.30 ට දයාසිරි දිවයිනට කියයි


චමින්ද සිල්වා

තමා එක්‌සත් ජාතික පක්‍ෂය හැර නොයන බවත් හෙට (23 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ නොකරන බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එ.ජා.ප.) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (21 වැනිදා) දහවල් 1.30 ට "දිවයින" කළ විමසීමකදී පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ පැවැත්ම ආරක්‍ෂා කරන ආදරණීය ජනතාව මෙන්ම අසහනයට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජනතාව වෙනුවෙන් මන්ත්‍රීවරයකු ලෙස තමන්ට කළ හැකි බොහෝ දේ තවදුරටත් ඉටුකරන බව ද හෙතෙම කීය. මේ මොහොතේ පක්‍ෂයේ ඇතැම් ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් මෙන්ම රජයේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් ද තමා තුළ පැහැදීමක්‌ නැති බව කියා සිsටි ජයසේකර මහතා මන්ත්‍රීවරයකු හැටියට විශේෂයෙන් එජාප පාක්‍ෂිකයන්ට කළයුතු වගකීම් ඉටුකිරීමට තමා බැඳී සිටින බව ද ප්‍රකාශ කළේය.

තමා රජයට එක්‌වීම ඇතැම් මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද්දක්‌ බව පැවසූ ජයසේකර මහතා තම දුරකථනයට පසුගිය දින කිහිපයේම බොහෝ දෙනකු කතා කර මේ පිළිබඳව විමසීම් කළ බව ද තමා වෙනුවෙන් හැමදාම සිටින වයඹ පළාතෙත්, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේත් ලංකාවේ සියලු පළාත්වලත් ජනතාවට හදවතින්ම කෘතඥතාව පුදකරන බව ද කීය.

ජනතාවගේ දුක්‌ කඳුළු පිසදමන්නට හා ඔවුන්ට යහපත් හෙටක්‌ උදාකරන්නට තමා තවදුරටත් මන්ත්‍රීවරයකු වශයෙන් කැපවන බව ද ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.