අම්පාරේ ඉදිකිරීමට යෝජිත භාවනා අසපුවට
දිගාමඩුල්ලේ හිමිවරුන්ගේ විරෝධය


අම්පාර විශේෂ - සුසන්ත අමරබන්දු



අම්පාර නගරය ආසන්නයේ පිහිටි අම්පාර වැව අසල භාවනා අසපුවක්‌ ඉදිකිරීමට මුල්ගල තැබීමට එරෙහිව දිගාමඩුල්ලේ විහාරස්‌ථානවල නායක හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා ඊයේ (21 වැනිදා) උදෑසන එම ස්‌ථානයට ගොස්‌ විවිධ වැකි ලියූ පුවරු රැගෙන විරෝධතාවක නිරත වූහ.

පෙරේදා සවස 4.00 ට භාවනා අසපුවක්‌ සෑදීමට මුල්ගල තැබීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කරන බව පවසා තිබුණ ද, දහවල් 1.00 ට පමණ ඒ මහතාගේ පුත් ශමින්ද රාජපක්‍ෂ මහතා අතින් මෙම ස්‌ථානයේ ඉදිකිරීමට අපේක්‌ෂිත මහමෙව්නා සදහම් මධ්‍යස්‌ථානය, මහ මෙව්නා සුවසේවා මධ්‍යස්‌ථානය, හරිතසුව සේවා කටයුතු සඳහා මෙම ස්‌ථානයේ ගොඩනැඟිලි ඉදිකිරීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතා නමින් සමරු ඵලකයක්‌ද ස්‌ථාපිත කරමින් මුල්ගල තබන ලදී.

මෙම ඉදිකිරීමට අපේක්‌ෂිත භාවනා අසපුවට දිගාමඩුල්ලේ භික්‌ෂූන් වහන්සේලාගේ දැඩි අප්‍රසාදය එල්ලවූ අතර ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් පුත්තලම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති උතුරු නැගෙනහිර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්‌ත්‍රපති කිරිඳිවැල හේමරතන හිමියෝ මෙසේ පැවැසූහ.

අම්පාර නගරයේ විහාරස්‌ථාන හත අටක්‌ තියෙනවා. මෙම අසපුව සෑදීමට යන උහන මාර්ගය ආසන්නයේ බෞද්ධ සිද්ධස්‌ථාන 04 ක්‌ තියෙනවා. එහෙම තියෙද්දි මේ නගරය අස්‌සේ මොන ආගමික මධ්‍යස්‌ථානද? ඈත අතීතයේ ඉඳන් මහමෙව්නා තියෙන්නේ එකයි. දැන් හැම තැනම මහමෙව්නා අසපු ගහලා. වසර ගණනාවක්‌ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැමිණි ථෙරවාදී බුදු දහම විනාශ කරමින් පවතිනවා.

බෞද්ධ තරුණ තරුණියන්ගේ මනස දුර්වල කරමින් දුබල කරමින් සිටිනවා. පාලියෙන් කියූ පිරිත් දේශනාවන් අද සිංහලෙන් දේශනා කරනවා නිතර සිංදු කියනවා වාගේ. අද මේ අසපු ක්‍රමය නිසා බුදු දහම විනාශවීමට එරෙහිව අපේ නායක හිමියන් ඇතුළු නායක සංඝයා වහන්සේලා රජය ප්‍රමුඛ අදාළ බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මෙම ඉඩමේ වගා කරන ලද ගොවි මහතෙකු වූ කරංගාවේ ජී. ජයසිංහ මහතා මෙසේ පැවැසීය.

මම 1973 ඉඳන් මෙම ස්‌ථානයේ කුඹුරු කළා. මගේ එක ඇහැක්‌ පේන්නේ නැහැ. කොටි කපලා මගේ එක අතක ඇඟිලි නැහැ. මට දරුවෝ 05 ක්‌ ඉන්නවා. ගිය අවුරුද්දේ ග්‍රාමසේවා මහත්තයායි සී. ඕ. මහත්තයයි ඇවිල්ලා මේවා රජයේ ඉඩම් කියලා ඉඩම් කොටසක්‌ අල්ලාගෙන අපව පන්නා දැම්මා. පස්‌සේ ඉතිරිවෙලා තියෙන කොටසකුත් මෙයාලා භාවනා අසපු හදන්න කියලා අල්ලා ගත්තා. ඒක නිසා අපි කියන්නේ අපිට භාවනා අසපු නොවෙයි බඩගින්න නිවා ගන්න කුඹුරක්‌ කරන්න ඉඩ දෙන්න.

මෙම අවස්‌ථාවේදී ගල්මඩුව පුරාණ රජමහා විහාරාධිපති හෑගොඩ විමලඥාන, බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දීඝවාපියේ සුසීම, අම්පාර ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී දෙමටඇල්ලේ දයාසාර යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.