කොස්‌ගමින් ඇල්ලූ නිදිපෙති රාවලට කලවම් කරලා

රා ලීටර් 2500කට නිදිපෙති 1000ක්‌

ප්‍රභාත් විතාන සහ චමින්ද සිල්වා

පසුගිය සිකුරාදා පහළ කොස්‌ගම ප්‍රදේශයේ නිවසක තිබියදී විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිදිපෙති තොගය රාවලට කලවම් කිරීමට යොදා ගෙන ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

මෙම නිදිපෙති තොගය ගබඩා කර තිබූ නිවෙස්‌ හිමියාගේ නැගණියගේ පුතා විසින් මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයට ලබාදීමට තමා

සන්තකයේ තබා ගත් බව නිවෙස්‌ හිමියා පෙරේදා (20 වැනිදා) කොස්‌ගම පොලිසියේදී ප්‍රකාශ කළ බව එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා පැවසීය.

රා ලීටර් 2500 කට නිදිපෙති දහසක්‌ පමණ මිශ්‍ර කර බෝතල්වල දමා රා තැබෑරුම්වලට බෙදාහරින බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් හෙතෙම කීය.

මෙලෙස බෙදාහැර තිබූ රා බෝතල් කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශවල සුරාසල්වලින් ලබාගෙන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් සිකුරාදා අත්අඩංගුවට ගත් නිදිපෙති ලක්‍ෂ දෙකට අමතරව තවත් නිදිsපෙති එක්‌ ලක්‍ෂ හැට දහසක්‌ පමණ සැකකරු ළඟ තිබී ඇති බව සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වූ බවත් මෙම සැකකරු හෙට (23 වැනිදා) අවිස්‌සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂක වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස්‌ පරිදි එම අධිකාරියේ ආහාර ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන වික්‍රමසේකර බණ්‌ඩාර, අජිත් රෝහණ, කොස්‌ගම පොලිස්‌ ස්‌ථානාධිපති අරුණ ශාන්ත පෙරේරා, පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. ගංගානාත් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.