පොලිසියට එරෙහි හිමිනමගේ
උපවාසයට උසාවියෙන් වාරණයක්‌

කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර

උතුරු කළුතර පොලිසියට එරෙහිව උග්ගල්ගොඩ මල්අස්‌න රජමහා විහාරස්‌ථානයේ හිමිනමක විසින් අද (22 දා) කළුතර ඓතිහාසික බෝසමිඳු අබියස මාරාන්තික උපවාසයක්‌ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ නිසා සාමය කඩවීමට ඉඩ ඇතැයි ද බැතිමතුන්ට හිරිහැර වීමට ඉඩ ඇතැයි ද සඳහන් කරමින් කළුතර දකුණ මූලස්‌ථාන පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආර්ඩීන් මහත්මිය එම උපවාසය තහනම් කරමින් වාරණ නියෝගයක්‌ නිකුත් කළාය.

මල්අස්‌න රජමහා විහාරාධිපති පරගස්‌තොට රේවත හිමි හා මහරගම සෝමරතන හිමියන් ද දායක සභාව ද අතර ඇති ගැටුමක්‌ පිළිබඳව පොලිසියට කරන ලද පැමිණිලි සාධාරණ ලෙස විභාග නොකළ බව කියමින් මහරගම සෝමරතන හිමියන් විසින් මෙම මාරාන්තික උපවාසය සංවිධානය කර තිබූ බව දකුණු කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතා "දිවයින" ට පැවසීය.

මෙම තහනම් නියෝගය ඊයේ (21 වැනිදා) සවස අදාළ භික්‍ෂුවට භාරදීමට කටයුතු කරන බව ද මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා "දිවයින" ට පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.