උ/මැද ගුරු උපදේශක විභාගය අවලංගු කරන්න

- ගුරු සේවා සංගමය කියයි


චමින්ද සිල්වා

ගුරු උපදේශක තනතුර සඳහා උතුරුමැද පළාතේ පෙරේදා (20 වැනිදා) පැවති විභාගයේ අක්‍රමිකතා රැසක්‌ සිදුවීම නිසා වහාම එම විභාගය අවලංගු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටී.

මෙය අවලංගු කිරීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය වෙත යැමට පවා සූදානමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (21 දා) පැවසීය.

ගුරු උපදේශක තනතුර සඳහා ගුරුවරුන් 2500 ක්‌ පමණ අයෑදුම් කර තිබියදී ප්‍රවේශපත්‍ර ලැබී ඇත්තේ 1000 ක පමණ පිරිසකට බව ද ජයසිංහ මහතා කියා සිටී. මේ සම්බන්ධයෙන් ප්‍රවේශපත්‍ර නොලැබූ පිරිස්‌ උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමේදී ප්‍රවේශපත්‍ර ලැබී නැතත් විභාගයට පෙනී සිටින ලෙස ඔවුන්ට උපදෙස්‌ ලැබී ඇතැයි ද කී හෙතෙම මේ නිසා අයෑදුම් නොකළ පිරිස්‌ ද විභාගයට පෙනී සිට ඇතැයි කීය.

අනුරාධපුර වලිසිංහ හරිස්‌චන්ද්‍ර සහ පොලොන්නරුව තෝපාගම මහා විද්‍යාලයේදී විභාගය පවත්වා ඇත.

පොලොන්නරුව විභාග මධ්‍යස්‌ථානයේ ප්‍රවේශ පත්‍රයට අනුව අභියෝගතා පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම වෙනුවට අයෑදුම්කරුවන්ට ලබා දී ඇත්තේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය බව ද ජයසිංහ මහතා පෙන්වා දෙයි.

එම වේලාවේදීම (පෙරවරු 9.00 ට) අනුරාධපුර විභාග මධ්‍යස්‌ථානයේ ප්‍රවේශ පත්‍රයට අනුව අභියෝගතා පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ පිරිසට විවේකය ලබා දී ඇතත් පොලොන්නරුව විභාග මධ්‍යස්‌ථානයේ විවේක කාලයක්‌ නොදී ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු සැපයීමට විභාග අපේක්‍ෂකයන්ට සිදුවී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. මෙම කාල පරාසය තුළ ජංගම දුරකථන මගින් යම් අක්‍රමිකතාවක්‌ සිදුකිරීමේ හැකියාවක්‌ ඇතැයි ද ඔහු කියයි.

ගුරු උපදේශකවරුන් බඳවාගැනීම මීට පෙර දේශපාලන හිතවත්කම් මත සිදුවුවත් ගුරු සංගම්වල ඉල්ලීම මත පත්කළ කමිටුවකින් දුන් උපදෙස්‌ මත පැවැත්වූ ප්‍රථම විභාගය මෙය බව ද ජයසිංහ මහතා පෙන්වා දෙයි.

උතුරුමැද පළාතේ විභාග මධ්‍යස්‌ථාන ලෙස 712 ක්‌ පැවතියත් මධ්‍යස්‌ථාන 02 ක විභාගයක්‌ හෝ නිසියාකාරව උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවැත්වීමට නොහැකිවීම බරපතළ ගැටලුවක්‌ වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර කියා සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.