වසා තිබූ ගේට්‌ටුවෙන් රිංගද්දී
යතුරුපැදිය දුම්රියේ ගැටෙයි

අයෙක්‌ මරුට

කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර බේරුවල විශේෂ - තරිඳු

දුම්රිය ගේට්‌ටුව වසා තිබියදී ඊයේ (21 වැනිදා) සවස 6.30ට පමණ අළුත්ගම ගනේගම දුම්රිය හරස්‌ මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක්‌ දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ දෙදෙනකුගෙන් එක්‌ අයකු එතැනම මියගොස්‌ ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක්‌ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

දුම්රිය එනවා යතුරුපැදිය දමන්න එපා යෑයි දුම්රිය ගේට්‌ටුකරු හා අසල්වැසියන් කෑ ගසද්දී මෙම යතුරුපැදි කරු දුම්රිය දැක දැක යතුරුපැදිය හරස්‌ මාර්ගයට දමා ඇති බව අනාවරණය වූ බව අළුත්ගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කාවින්ද පියසේකර මහතා පැවැසීය.

ඉකුත් මාසයේදී මෙම ස්‌ථානයේදී වෑන් රථයක්‌ දුම්රියක ගැටීමෙන් දහ දෙනකු එතැනම මියගිය අතර ඉන් පසුව මෙම දුම්රිය ගේට්‌ටුව සවි කරන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.