අලි පලවාහැරීමට ගිය වන නියාමක ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක මොනරාගල, නයන ඉහළගෙදර - මාපා තිලකසූරිය, හම්බෙගමුව - ප්‍රේමතිලක

තණමල්විල අලුත්ගොඩ ගඟේයාය ගම්මානයට වැදුණු වන අලියකු පලවාහැරීමට ගිය වන ජීවී නියාමකවරයකු වන අලියකු පහරදීමෙන් මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයට අනුයුක්‌තව සේවය කළ ගාල්ල ගිංතොට වැලිපිටිය අංක 418/10 ඩී පදිංචි වර්ණසූරිය ජයවර්ධන මුදියන්සේලාගේ දිනේෂ් කුමාර (25) නමැති අවිවාහක වන ජීවී නියාමකවරයෙකි.

විදුලි වැට කඩාගෙන වන අලින් අලුත්ගොඩ ගඟේයාය ගම්මානයට ඇතුළු වී ඇති බවට ගම්මුන්ගෙන් ලද තොරතුරක්‌ මත ලුණුගම්වෙහෙර වන ජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ ගොස්‌ ගම්වාසීන් සමග අලි පලවාහරිමින් සිටියදී වන නියාමක දිනේෂ් කුමාරට වන අලියකු පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ හෙතෙම තණමල්විල දිසා රෝහලට ඇතුළත් කොට හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මියගොස්‌ තිබේ.

මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය අම්බලන්තොට හදිසි මරණ පරීක්‍ෂක ආර්. ජී. ඇම්. ගුණවර්ධන මහතා විසින් හම්බන්තොට මහ රෝහලේදී පවත්වන ලදී. මෙහිදී සාක්‍ෂි දුන් වන ජීවී නියාමක ඌරගල ජනක සෙනරත් මහතා

සිකුරාදා (19) රාත්‍රි 8.00 ට විතර දුරකථන ඇමතුමකින් ගඟේයාය ගම්වාසියකු දැනුම් දුන්නා ගමට වන අලි කඩාවැදිලා කියා. වන ජීවී නියාමක දිනේෂ් කුමාරත් සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකුත් සමග ගඟේයාය ප්‍රදේශයට ගියා. ටෝච් එළියෙන් ඉදිරිය බලාගෙන යන ගමන් අපි අලි වෙඩි පත්තු කළා. ටික වේලාවකින් මට අලියා ගැහැව්වා කියලා දිනේෂ් කීවා .අපි යන විට ඔහු දණ බිම ගසාගෙන සිටියා අපි ඔහුව රෝහලට රැගෙන ගියා. එහිදී ඔහු මියගියා. හම්බන්තොට මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි තරංග ද සිල්වා මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.