දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි

කෝඩුකාර නායකයාට
සංගක්‌කාරගෙන් තෑග්ගක්‌

අසේල විතාන


සංගක්‌කාරගේ වාර්තාගත පිති ප්‍රහාරය හමුවේ ජවය ලද ශ්‍රී ලංකාව තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයේදීම දකුණු අප්‍රිකාවට ලකුණු 180 ක පරාජයක්‌ අත්කර දෙමින් තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට පෙරේදා (20) සමත් විය.

කෝඩුකාර නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස්‌ගේ දුර්වල තීරණයත් සමග පළමුව පිති ප්‍රහාරය ඇරඹු ශ්‍රී ලංකාව ලකුණු 320 ක්‌ ලබාගත්තද දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 140 කදී නවතා දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් විය. අදාළ ජයග්‍රහණය එක්‌දින තරගයකදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ලද දැවැන්තම ජය ලෙසද සටහන් වේ. මීට පෙර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකාවට එරෙහිව ලද දැවැන්තම ජයග්‍රහණය ලකුණු 94 කින් වාර්තා කර තිබිණි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ව සහ පන්දු රකින්නන් දැඩි වෙහෙසකට පත්කරමින් හැඩකාර වමත් පිති ප්‍රහාරයක්‌ සමග සංගක්‌කාර ඊයේ ලබාගත් ශතකය ඔහුගේ 16 වැනි එක්‌දින ශතකය ලෙස සටහන් වේ. ඒ අනුව මහේල ජයවර්ධනළ තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්‌කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගවලදී ශතක 16 බැගින් ලබා සමතත්වයේ පෙරමුණේ පසුවේ. පන්දු 137 කදී හතරේ පහර 18 ක්‌ සහ දැවැන්ත හයේ පහර 6 ක්‌ සමග සංගක්‌කාර ලබාගත් ලකුණු 169 ඔහුගේ එක්‌දින ක්‍රිකට්‌ දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. මීට පෙර සංගක්‌කාර ඉන්දියාවට එරෙහිව ලකුණු 138 ක්‌ ලබා ගනිමින් ඔහුගේ ඉහළම ඉනිම සටහන් කරගෙන තිබිණි. අදාළ සුපිරි ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද සංගක්‌කාර පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා පිතිකරුවකු එක්‌දින තරගයකදී ලබාගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වන අතර සංගක්‌කාරට ඉදිරියෙන් සනත් ජයසූරිය(189) ක්‌ සහ උපුල් තරංග(නොදැවී 174 ක්‌) වශයෙන් පෙරමුණේ පසුවේ.

සංගක්‌කාරගේ සටන්කාමී පිති ප්‍රහාරයත් සමග ඔහු එක්‌දින ලොව වැඩිම ලකුණු ලාභීන් අතර පස්‌වැනි ස්‌ථානය දක්‌වා උසස්‌ වීම් ලැබීය. එහි පස්‌වැනි ස්‌ථානයේ පසු වූ දකුණු අප්‍රිකාවේ ජැක්‌ කලීස්‌ හය වැනි ස්‌ථානයට පත්විය. සංගක්‌කාර මේ වන විට එක්‌දින තරග 350 කදී ලකුණු 11595 ක්‌ ලබා තිෙරී. එම ලැයිස්‌තුවේ පෙරමුණේ පසුවන සචින් ටෙන්ඩුල්කාර් (18426), රිකී පොන්ටින් (13704), සනත් ජයසූරිය (13430) සහ ඉන්සමාම් උල් හක්‌ (11779) පිළිවෙලින් පළමු ස්‌ථානයේ සිට සිව්වැනි ස්‌ථානවල පසුවේ. මෙම සිව්දෙනාම ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන තිබීම මත ඉදිරියේදී අභියෝගයකින් තොරව තවත් පෙරමුණට ඒමේ හැකියාව සංගක්‌කාර සතුව ඇත.

ශ්‍රී ලංකාවේ කෝඩුකාර නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස්‌ පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඇරයුම් කළේය. ආබාධයකින් පසුව යළිත් සුපුරුදු ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස සිව්වැනි පන්දුවායේ පස්‌වැනි පන්දුවට පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව විසි තුනක්‌ ලෙස සටහන් විය. ඩිල්ෂාන්ගේ ඉනිමට තිත වැටෙන විට පන්දු 8කදී හතරේ පහරක්‌ සමග ලකුණු 10 ක්‌ ලබා සිටියේය.

ඩිල්ෂාන්ගේ දැවී යැමෙන් පසු පිටියට පිවිසි කුමාර් සංගක්‌කාර උපුල් තරංග සමග එකතුව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 96 කදී ලකුණු 70ක සබඳතාවක්‌ ගොඩනගිමින් සිටියදී මෝර්කල්ගේ පන්දුවක්‌ කඩුල්ලේ දවටා ගනිමින් උපුල් තරංග ලකුණු 43 කට පිටියෙන් ඉවත් වන විට පන්දු 64 ක්‌ වැය කරමින් හතරේ පහර හතක්‌ සිය ඉනිමට අන්තර්ගත කර ගැනීමට සමත්ව සිටියේය. පළමු පන්දුවාරයේදීම උපුල් තරංග දෙවැනි ස්‌ලිපි ස්‌ථානයට උඩ පන්දුවක්‌ ලබා දුන්නද එය රැක ගැනීමට නොහැකිවීම දකුණු අප්‍රිකානුවන්ට දැඩි පාඩුවක්‌ විය.

නවක නායක දිනේෂ් චන්දිමාල්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ දමන පිති ප්‍රහාරයක්‌ දියත් කළ හිටපු නායකයන් දෙපළ වන සංගක්‌කාර සහ මහේල පන්දු 75 කදී ලකුණු 74 ක සබඳතාවක්‌ ශ්‍රී ලංකා ඉනිමට දායාද කිරීමට සමත් විය. එහිදී මෝර්කල් විසින් ෆුල් පහරකට මහේල පොළඹවා ගනිමින් ඔහුගේ ඉනිම ලකුණු 42 කදී නිමා කිරීමට සමත් විය. සාර්ථක පිති ප්‍රහාරයක්‌ දිත් කළ මහේලගේ ඉනිමට පන්දු 51 ක්‌ වැය වන අතරවාරයේ හතරේ පහර හතරකින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණි. මහේලගේ දැවී යාමෙන් පසු පැමිණි ළහිරු තිරිමාන්න සංගක්‌කාර සමග එක්‌ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 123 ක සබඳතාවක්‌ පැවැත්වුවද එහිදී සංගක්‌කාර පන්දු 50 කදී ලකුණු 100 ක්‌ ලබා ගන්නා අතරවාරයේ තිරිමාන්නට පන්දු 33 කදී ලබාගත හැකිවුයේ ලකුණු 17 ක්‌ පමණි. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් පන්දු 120 දී ලකුණු 168 ක්‌ ලබා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ඉනිමට පළමු පන්දුවම යෝකර් පන්දු ප්‍රහාරයක්‌ දියත් කළ මාලිංග කොලින් ඉන්ග්රම් ආ විගසම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සමත් විය. අනතුරුව තිසර පෙරේරා සහ රංගන හේරත් එක්‌ව කඩුලූ තුන බැගින් දවා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කරන අතරවාරයේ තිලකරත්න ඩිල්ෂාන් කඩුලූ දෙකකින් දායකත්වය සැපයීය. දෙරට අතර දෙවැනි එක්‌දින තරගය ලබන 23 දා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.