ජගත් ඔලිම්පික්‌ කමිටු සභාපති විශ්‍රාම යයි
හිස්‌වන තනතුරට හය දෙනෙක්‌ තරග බිමේ

අසෝක ගුණතිලක

වත්මන් ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු සභාපති ජාකේ රෝගේ මහතා එළැඹෙන සැප්තැම්බර් මසදී විශ්‍රාම යැම හේතුවෙන් හිස්‌වන අදාළ සභාපති ධුරය සඳහා තරග කිරීමට එම කමිටු සාමාජිකයන් සය දෙනෙක්‌(6) සිය නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

අභිනවයෙන් තෝරා පත් කර ගනු ලබන නව සභාපතිවරයා ජගත් ඔලිම්පික්‌ කමිටු නව වැනි සභාපති වශයෙන් අභිෂේක ලබන අතර ඔහුගේද සේවා කාලය උපරිමයද කාර්තු තුනක්‌ හෙවත් වසර 12 කි.

නව වැනි ඔලිම්පික්‌ සභාපති වශයෙන් තේරී පත්වීම සඳහා, ජර්මානු ජාතික ඔලිම්පික්‌ කමිටු සභාපති සහ 1988 සෝල් ඔලිම්පික්‌ තරගාවලියේ කඩු සරඹ රන් පදක්‌කම් ලාභී 59 හැවිරිදි තෝමාස්‌ බැක්‌, ජගත් ඔලිම්පික්‌ කමිටු සාමාජික, 64 හැවිරිදි සිංගප්පූරු ජාතික නග් සෙර් මියෑන්ග්, ජගත් ඔලිම්පික්‌ කමිටු සාමාජික, පුවර්ටෝ රීකෝ හි ප්‍රධාන රාජ්‍ය බැංකු සභාපති සහ ජගත් ඔලිම්පික්‌ කමිටු මූල්‍ය කමිටු සභාපති 60 හැවිරිදි රිචර්ඩ් කැරියොන්, ජගත් ඔලිම්පික්‌ කමිටු සාමාජික, ජාත්‍යන්තර බොක්‌සිං සංගමයේ සභාපති චීන තයිපේ හි 66 හැවිරිදි වූ චින්ග් කුවෝ, ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු සාමාජික, ජාත්‍යන්තර රුවල් ඔරුපැදීමේ සංගමයේ සභාපති 66 හැවිරිදි ස්‌විස්‌ ජාතික ඩෙනිස්‌ ඔස්‌වල්ඩ් සහ රිටි පැනීමේ ලෝක ශූරතාව 35 වතාවක්‌ ප්‍රවර්ධනය කළ, හය වතාවක්‌ එම ලෝක ශූරතාව දිනූ සහ 1988 සෝල් ඔලිම්පික්‌ තරගාවලියේ රන් පදක්‌කම් ලාභී යුක්‌රේනයේ 49 හැවිරිදි සර්ෙ- බුබ්කා(ෂෙරිව් නසරොවික්‌ බුබ්කා) සිය නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

වසර 1964 දී ස්‌ථාපිත කරන ලද ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ සභාපති ධුරය සඳහා මෙතෙක්‌ තේරී පත්වූ සභාපතිවරුන් අතරින් ඇමරිකා එක්‌සත් ජනපදයේ ඇව්රි බ්‍රන්ඩේ-(1952-72) හැර සෙස්‌සෝ යුරෝපීයයන් වෙති. එබැවින්, මෙවර නිලවරණයේදී පෙරමුණ ගනු ඇතැයි අනුමාන කරන ජර්මනියේ තෝමාස්‌ බැක්‌ට යුක්‌රේනයේ සර්ෙ- බුබ්කාගේ තියුණු අභියෝගයක්‌ එල්ල විය හැකි බව අදාළ ඔලිම්පික්‌ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

යෝජිත නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම ඉකුත් ජුනි මස 30 දා අවසන් වූ අතර, එම නාම යෝජනා සම්බන්ධ විරෝධතා පරීක්‍ෂාව අවසානයේ, දැන් එම නාම යෝජනා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

නව වැනි ඔලිම්පික්‌ සභාපතිවරයා තේරීමේ නිලවරණය ලබන සැප්තැම්බර් මස 10 දා බ්‍රසීලයේ බුවනොස්‌ අයර්ස්‌ නගරයේදී පැවැත්වෙන ජගත් ඔලිම්පික්‌ කමිටු 125 වැනි සැසිවාරය අවසානයේ පැවැත්වීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.