යට ඉදල උඩට ඒම තමයි මට තියෙන අභියෝගය

- චන්දිමාල්


දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසයේ තබා ඇති වාර්තා අලුත් කරමින් සමස්‌ත තරගාවලිය ජය ගැනීමට කණ්‌ඩායම් ලෙස සැලසුම් කර ඇති බව නව නායක දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවසීය.

"අපි තරගාවලියට එන්න ඉස්‌සර වෙලා දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසයේ අපේ තියෙන හොඳම වාර්තා මොනවද කියල කණ්‌ඩායමක්‌ ලෙස සාකච්ඡා කළා. අපි උත්සහ කරන්නේ ඒ වාර්තා නැවත මේ තරගාවලියේදී අලුත් කරමින් හොඳ තරගාවලියක්‌ අවසන් කරන්න. අපි මේ තරගයකට එන්න ඉස්‌සර වෙලා දකුණු අප්‍රිකාවට වැඩිම ගාන ලබා තිබුණෙ ලකුණු 312 ක්‌. අපි සැලසුම් කළා කොහොමද ඊට වැඩිය මේ තරගාවලියේදී ලබාගෙන්නෙ කියල. මම නායකත්වය දරපු පළමු තරගයේදීම අපි සියල්ල කණ්‌ඩායමක්‌ ලෙස එකට වැඩ කිරීම හේතුවෙන් මෙවැනි විශිෂ්ඨ ජයක්‌ ලැබීමට හැකි වුණා." යනුවෙන් චන්දිමාල් පවසයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු තරග දෙකේදී නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයක්‌ මෙහෙයවන ලාබාලතම නායකයා සහ පළමු තරගයම ජය ගැනීමට සමත් වූ ලාබාලතම නායකයා ලෙස ශ්‍රී ලංකා වාර්තා අතරට එක්‌විය. දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරේදා ලකුණු 180 ක ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව ඉතිහාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලද දැවැන්තම ජයග්‍රහණය ලෙසද එය සටහන් වේ.

"ඇත්තටම නායකයන් තුන්දෙනෙක්‌ ඉන්න කණ්‌ඩායමක නායකත්වය දැරීම පහසු කටයුත්තක්‌. මම ලකුණු අතර නොසිටියා කියල නායකයකු ලෙස මට මේ තරගයට එන කොට කිසිම පීඩනයක්‌ තිබුණෙ නැහැ. ක්‍රීඩාගාරයේදීත් ක්‍රීඩාංගණය ඇතුළෙදීත් සංගක්‌කාර, මහේල සහ ඩිල්ෂාන් මට ලොකු සහයෝගයක්‌ දැක්‌වූවා. සංගක්‌කාරගේ විශිෂ්ඨ ඉනිම සහ මහේල සහ සංගක්‌කාර එකතුව ගොඩ නගපු සම්බන්ධතාව අපිට ලකුණු 300 සීමාව ඉක්‌මවා යැමට ඉතාමත් රුකුලක්‌ වුණා." වශයෙන්ද චන්දිමාල් පැවසීය.

"මේ තරගාවලියට පිවිසෙන කොට මම ඉන්නෙ දක්‍ෂතා අතර පහළම මට්‌ටමක. ඒක හින්ද මට තව නැති වෙන්න දෙයක්‌ නැහැ. එතනින් උඩට එන්න විතරයි මට තියෙන්නෙ. අපි කොච්චර මහන්දි උණත් මොන වෙලාවක හරි ලකුණු අතර නැති වෙන අවස්‌ථා තියෙනවා. එතනදී කොහොම හරි සාර්ථක වීම තමයි ක්‍රීඩකයකු හැටියට සහ නායකයකු හැටියට දැන් මට තියෙන අභියෝගය." යනුවෙන් චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.