ඇසළ පුද ලබන දෙවිනුවර දෙවියෝ උපුල්වන්ද, විෂ්ණුද?

වීරසේන අල්ගෙවත්ත



ඇසළ මහ දෙවියන්ගේ මාසය ලෙස පැරැන්නෝ විශ්වාස කළෝය. ඒ ඇසළ මසින් අරඹා එකක්‌ ඇවෑමෙන් එකක්‌ ලෙස පිළිවෙලින් පැවැත්වෙන දේව පූජාවලිය දිවයිනේ නන් දෙසැ පිහිටි දේවාල රැසක පැවැත්වෙන බැවිනි.

දිවයිනේ පැවැත්වෙන පූජා උත්සව අතරින් අතිශයින් චමත්කාර ජනක ඇසළ පූජා සැණකෙළිය මහනුවර "දළදා" පූජාවලියයි. එහෙත් එය තනිකරම "දළදා" පූජාවක්‌ නොවන්නේ දළදා වහන්සේ ප්‍රමුඛව සිවු මහ දේවාල පූජාවක්‌ද ඒ සම`ගමැ පැවැත්වෙන බැවිනි. කතරගම "මහසෙන්" (ස්‌කන්ධකුමාර ?) දෙවියන්ද, "දෙවිනුවර" උපුල්වන් (විෂ්ණු ?) දෙවියන්ද "රත්නපුරේ" "සමන්" දෙවියන්ද "නවගමුවේ" "පත්තිනි" දෙවියන්ද මේ ඇසළ පූජා ලබන ප්‍රධාන දෙවි වරුන්යෑ. මීට අමතරව දිවයිනේ නන් දෙස පිහිටි විවිධ ප්‍රාදේශීය අගයන් ගන්නා දේවාලවලද ඇසළ පූජා සැණකෙළි පැවැත්වෙයි. සාමාන්‍යයෙන් ඇසළ මසින් ඇරඹෙන පූජා උත්සව මාලාව සිවු මසක්‌ පමණ කාලයක්‌ දක්‌වා පැවැත්වෙයි. "ඇසළ පෝය" "ශුද්ධ පෝය" නමින් දකුණේ ඇතැම් ප්‍රදේශවල ජනතාවෝ හඳුන්වති. වහරති. මේ නිසාම ඇසළ පුර පසළොස්‌වක දා සිට ඊළ`ග අටවක පෝය දක්‌වා සතියක පමණ කාලයක්‌ දකුණේ සෑම නිවසක පහන් පැලක්‌ සාදා දෙවියන් උදෙසා එම පහන් පැලේ පොල් තෙල් පහනක්‌ දල්වයි. මෙය දෙවිනුවර දෙවියන් උදෙසා කරන පූජාවකි.

දෙවිනුවර දෙවියෝ කවරහුද ? පැරැණි මූලාශ්‍රවල සඳහන් අන්දමට දෙවිනුවර දෙවියෝ "උපුල්වන්" හෙවත් "උත්ඵලවර්ණ" දෙවි රජාණෝය. එහෙත් අද ඇත්තේ "ශ්‍රී විෂ්ණු" දේවාලයකි. ඇතැම් තැනෙක "ශ්‍රී විෂ්ණු උපුල්වන්" දේවාලය යනුවෙන්ද ලියෑවී ඇති ස්‌ථාන තිබේ.

"උපුල්වන්" සහ "ශ්‍රී විෂ්ණු" එකම දෙවියෙක්‌ ද ? එසේ නොවන්නේ ද ? වර්තමානයේ නම් සිතන බව පේන්නේ එකම දෙවි කෙනෙක්‌ ලෙසැ විය යුතු යෑ.

"ශ්‍රී විෂ්ණු" හින්දු සමයේ සඳහන් "ත්‍රි මූර්තියේ" එක්‌ දෙවියෙකි. "බ්‍රහ්ම" "විෂ්ණු" "මහේෂ්වර" ඒ ත්‍රීමුර්තියයි. ලොව පාලනය කරන්නේ "විෂ්ණු" දෙවියන් විසින් යෑ යි හින්දූහු විශ්වාස කරති. මහා සමය සූත්‍රයේ බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණි දෙවි වරුන් ගේ නම් අතර "වෙණුහු" නමැති දෙවි කෙනෙක්‌ ගැනද සඳහන් වෙයි. හෙතෙම විෂ්ණු හු මැ දැයි අපැහැදිළිය. "විෂ්ණු" කාල වර්ණයෑ "සුරා' සුර"යුද්ධයට පෙරැ "කිරි මුහුද" කලඹන විට හමු වූ මංගල වස්‌තූන් අතර සිටි වාසනාවේ දෙව්දුව වූ ශ්‍රියා කාන්තාව "විෂ්ණු" හු ගේ බිරින්දෑ යෑ.

"උපුල්වන්" දෙව් රජ ගැන මුලින්ම සඳහන් වන්නේ විජය කුමරුන් ලක්‌දිවට පැමිණෙන අවස්‌ථාවේ බුදුන් වහන්සේගේ ඇනැවීමෙන් සක්‌දෙව් රජුගේ ඉල්ලීම අනුව විජය කුමරුන් ප්‍රමුඛ පිරිසට පිරිත් පැන් දී පිරිත් හූ බැඳ අහසින් යන මහාවංශයේ තොරතුරෙනි. එහි මෙසේ සඳහන් වන්නේ යෑ.

"පිරිනිවන් ම`ඤaචකයෙහි" හොත්තාවූ ලෝහිමි වූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මුනිතෙමේ මහත් වූ දේව සමාගමයෙහි දී එහි සමීපව සිsටි ශක්‍රයා හට වදාරණ සේක්‌ සිංහ බා රජු පිත් තෙල විජය කුමර අනුගත සත් සියයක්‌ පිරිවර ඇතිව ලාට රටින් (අවුත්) ලක්‌දිව බැස්‌සේය. දේවේන්ද්‍රය මාගේ සස්‌න ලක්‌දිව් හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාවද මොනවට රකුව්යි වදාළ සේක ........ දේවේන්ද්‍ර තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසූයේම උපුල්වන් දෙව් රජ හට ලංකාරක්‌ෂාව භාර කළේය. ඒ තෙමේ ශක්‍රයා විසින් කී පමණින් එකනෙහි ලක්‌දිව අවුත් පරිබ්‍රාජක වේශයකින් රුක්‌ මුලෙක හුන්නේය. විජය කුමාරයා ප්‍රධානකොට ඇති සියල්ලෝ උහු වෙත අවුත් පින්වන්නි ( මේ තෙමේ කවර දිවයිනක්‌ දැයි විචාළෝය. හේ තෙමේ ලක්‌දිව යයි කියා මිනිස්‌සු මෙහි නැත්තාහු යයි ද තොපට භයෙක්‌ නොවන්නේ යයි ද කියා මෙසේ කියා කෙණ්‌ඩියෙන් මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි (පිරිත්) හූ බැද අහසින් ගියේය.

(මහා වංශය, හත්වෙනි පරිච්ඡේදය - 2003 දෙසැ. ප්‍රකාශනය බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය. දෙහිවල)

රාජාවලියෙහි සඳහන් වන්නේ මෙයට තරමක්‌ වෙනස්‌ වූ විස්‌තරයකි. එහි සඳහන් වන්නේ ලක්‌දිව බුදු සසුන්හි භාරකාරත්වය බුදුන් වහන්සේ විසින් මැ උපුල්වන් දෙවිඳුන් වෙත භාර කළ බවකි.

දස දහසක්‌ ශක්‍රයන් අතුරෙන් මේ ම`ගුල් සක්‌වල බලන ශක්‍රයන් ළ`ගට කැඳවා ශ්‍රී ලංකාව භාර කර දී විජය කුමාරයාට ආරක්‌ෂාවට පිරිත් නූල් හා පිරිත් පැන් දී "උපුල්වන්" දෙවිඳුහට ශ්‍රී ලංකාව භාර කර දී පිරිනිවන් පෑ වදාල සේක. විජය රජ නුගසේවණේ උන්විට "උපුල්වන් " දෙවිඳු තපස්‌ වෙස්‌ ගෙන කසා වතින් ඇවිත් විජය කුමාරයා හට පිරිත් නූල් කරලා පන්සියයක්‌ යෝධයන්ට පිරිත් පැන් ඉස දෙව්ලොව ගියාහ.

(රාජාවලිය Aගඪග සුරවීර. අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තමේන්තුව)

මහාවංශ ටීකාවේ සඳහන් වන්නේ උපුල්වන් දෙව් රජුන් විජයගේ මවුබිම වූ "ලාට" දේශයෙහි පූජා ලැබූ දෙවියෙක්‌ බවයි. ඒ නිසා සක්‌දෙව් රජ විජය අතැ පිරිත් හූ ලැමට ඔහුම තෝරා ගත්තා විය හැකි යෑ.

"පැරකුම්බා සිරිත" කළ කවියා පවසන්නේ මීට ඉඳුරාම වෙනස්‌ වූ අදහසකි. ඔහු උපුල්වන් දෙව් රජුගේ ලංකාවතරණය සිදු වී ඇති අන්දම වාර්තා කරන්නේ මෙසේය.

ඉමල් හල මුනි ලෙසින් වදහළ මෙලක රකිනුව මෙත් සිතින්

උපුල් වන් දෙව් රජුන් පිළිරුව වඩිනු දැක මහ සයුරකිsන්

විමල් ගුණ යුත් නමින් "දාපුළුසෙන්" රජෙක්‌ ආ එමොහොතින්

විමල් සිරි දෙව් නුවර කරවා පිහිට කරවී යහපතින්

(පැරකුම්බා සිරිත - මහාචාර්ය රෝහිණී පරණවිතාන - 1997 මධ්‍යම සංස්‌කෘතික අරමුදල)

මේ වාර්තාව අනුව "දාපුළුසෙන්" නම් රජ කෙනෙකුන් කාලයේ උපුල්වන් දෙව් රුවක්‌ මුහුදේ පාවී පැමිණි බවත් රජු එහි ගොස්‌ දෙව් රුව රැගෙන දෙවිනුවර කරවා එහි දේව ප්‍රතිමාව වඩා හිඳැ වූ බවක්‌ යෑ, පැහැදිලි වනුයේ.

පැරැකුම්බා සිරිත රචනා වන්නේ කෝට්‌ටේ රාජ්‍ය සමයේ දී යෑ. ඊට පෙර ලියෑවී ඇති දීපවංශ, මහාවංශ ආදියෙහි මෙවැන්නක්‌ සඳහන් නොවේ. "කිහිරැලි" යන විශේෂණ පදයක්‌ උපුල්වන් දෙව්රජුගේ නමට මුලින් යෙදේ. "කිහිරි" ලීයෙන් තැනූ දේව ප්‍රතිමාවක්‌ නිසා මේ නම යෙදෙන බව ජනප්‍රවාද පුවත්වලින් පෙනේ. මුහුදෙහි ඔබැ මොබැ පා වෙමින් තුබූ විශාල කිහිරි කඳක්‌ දැක මහ පිරිස්‌ වෙරළට රැස්‌ ව එය ගොඩ ගැන්මට මහත් වෙහෙසක්‌ දැරුවද කිසිවකුට එය කළ නොහැකි විය. කවරක්‌ හෝ කිහිරි කඳට ලංවත්ම එය ඈතට යන අතර පිරිස්‌ මෑත් වන කල්හි වෙරළ අසලට පා වෙන්ට විය. මේ අසිරිය දා පුළු සෙන් රජුට සැලවී එතුමන් වෙරළට පැමිණි කල්හි කිහිරි කඳ රජු වෙතට පාවී ආවේලු. රජු කිහිරි කඳ ගොඩට ගෙන "මෙයින් දෙව් රුවක්‌ තැනිය හැක්‌කේ කවරක්‌ හු හට දැයි සොයන අතර මහළු ශිල්පියෙක්‌ පැමිණ දෙව්වරු නිම කිරීමේ කාර්යය භාර ගත්තේය. ඒ මහළු ශිල්පියා මණ්‌ඩපයක්‌ තනවා එය සිවු දෙසින් තිර බඳවා කිසිවෙකුට නොපෙනෙන සේ ආවරණය කොට ගෙන එක්‌ රැයකින් දෙව් රුව නිමවා අතුරුදන් වී ලු. දෙව් රුව තැනීමේදී කිහිරි කදින් කැපී ගිය කිසිදු ලී කැබැල්ලක්‌ හෝ නොවී ලු. මේ මහා ආශ්චර්යය දුටු රජු පැහැද දෙවිනුවර දෙවොල තනවා එහි වඩා හිඳුවා මහ පෙරහැර පැවැත්වී යෑ.

මහා වංශයේ මේ දාපුළුසෙන් රජ "සාමි දප්පුල" නමින් හඳුන්වයි. මේ රජු අනුරපුරයේ දින හතක්‌ සිහසුන් ගතව සිට රුහුණට පැමිණ තුන් අවුරුද්දක්‌ රජ සිරි විඳි කෙනෙකි.

උපුල්වර්ණ ප්‍රතිමා නෙළීමට සුදුසුම ලීය "කිහිරි" ලීය වන බැවින් කිහිරි ලීයෙන් කළ උපුල්වන් පිළිමය කිහිරැලි උපුල්වන් නමින් හඳුන් වතියි සෙනරත් පරණ විතානයෝ කියති. කිහිරි ලීය (රත් හඳුන්) සැබැවින්ම ඉතා තද ලී වෙසෙසකි. "කිහිරි උලක්‌ ගෙන, ගල් පොත්තක්‌ කැණ " යෑ යි ජාතක පොතේ එන බැවින් එය ඉතා දැඩි බව වටහාගත හැකිය.

(ශාස්‌ත්‍රපති කරතොට ප`ඤaඤdසීල හිමි - ලක්‌මිණි පහන 1993 සැප්තැම්බර් කලාපය)

කදිරදේහලි වංශෝද්භූත යන යෙදුම පිළිබඳව විග්‍රහයක යෙදෙන විද්වත් මහ ප`ඩි කුමාරතුංගයෝ "දේහලී" යන්න "එළිපතෙට" නමෙක්‌ යෑ යි පවසති. ඒ අනුව උපුල්වන් දෙවොලේ "එළිපත" කිහිරි ලීයෙන් තැනුන නිසා කිහිරැලි උපුල්වන් වී යෑයි සිතන්නෝද වෙති. එහෙත් මෙය පිළිගත හැකි බවෙක්‌ නොපෙනේ.

දෙවුන්දරින් මෑත යුගයේ සොයාගත් සෙල්ලිපියක "ගිරියල කිහිරැල් පිරිවෙනට" යන පාඨයක්‌ ඇත. එයින් කියෑවෙන්නේ මේ පෙදෙස "ගිරියල" නමින් හැඳින්වූ බවයි. "ගිරියල" යන්න "ගිරිහෙල" වී යෑයි සිතිය හැකිය. එහි "කිහිරැළි" නමින් පිරිවෙනක්‌ වූ බවක්‌ ද කියෑවෙයි. මෙය අටවන සියවසට පමණ අයත් කින්නග්ගබෝධි ඈපා නන් ගේ සෙල්ලිපියක්‌ සේ පිළිගැනේ. ස්‌වාභාවික උස්‌ භූමියක පිටිහි දෙවිනුවර සොබා දහමින් රැකවරණය ලැබූ පුරවරයකි. "ගම්පොල" යුගය වනවිට මේ සියල්ල වෙනස්‌ වී යෑ. එවක ප්‍රසිද්ධව තුබුණේ "ඉරුගල් කුලතිලක" පිරිවෙනයි.

"විජය ප්‍රමුඛ පිරිස්‌' රක්‌නට සක්‌ දෙවියන් වෙත බුදුන් වහන්සේ කරන ඉල්ලීම හුදු ප්‍රබන්ධයක්‌ බව කියමින් කුමාරතුංගයෝ එම පුවත තරයේ ප්‍රතික්‍ෂේප කරති. එතුමෝ මෙසේ කියති.

"බෞද්ධ දේව ගණයේ මහ රජ වූ ශක්‍රයා ලවා ලංකාවට අධිපතිකම් කරවන්නට මෙසේ තැත් කළද "තතු විමැසූ කලැ උපුල්වන් කිසි කලෙක ශක්‍රයා යටතෙහි නුවූ බවද ආදියෙහි පටන් මැ ලංකාවට අධිපති වූ බවද පෙනී යේ.

(ප්‍රබන්ධ සංග්‍රහය - කුමාරතුංග මුනිදාස - විසිදුනු ප්‍රකාශකයෝ 2012)

මහාචාර්යය සෙනරත් පරණ විතාන මහතා පවසන්නේ උදක + පාල + වර්ණ යන පද එක්‌ වීමෙන් උත්ඵලවර්ණ යන නම සෑදුනු බවයි. එතුමා ගේ මතය අනුව උපුල්වන් දෙවි වෛදික වරුණ දෙවියාය. රෑ දවාල Rතු විපර්යාසය, ජීවයේ පැවැත්මට ආදිය මේ වෛදික දෙවියාගේ බලය මත රදා පවතී.

(සිංහලයන්ගේ මූලාරම්භය - ආචාර්ය A H මිරැන්ඩෝ 1993 - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම)

උදක + පාල + වරුණ යන්න ජලයෙන් පහළ වූ යන අර්ථයක්‌ ගෙනෙනවාය යන්නද මෙහිදී අමතක කළ නොහැකිය. උපුල්වන් දෙව් රද දෙවිනුවර ට ලැබෙන්නේ සමුදුරෙනි. ඒ අර්ථයෙන් බැලුවද මේ දෙව් රද ජලයෙන් පහළ වූ කෙනෙකි.

කිහිරි දැවයෙන් නිර්මාණය කළ දේව ප්‍රතිමාවක්‌ කිහිරි කඳේ පැහැය ගත යුතුය. එනම් "රක්‌ත" වර්ණයයි. එහෙත් උපුල්වන් දෙව් රජ තමා වසන සමුදුරෙහි පැහැය ගනී. එනම් නිල් උපුල් පැහැයයි.

මේ නිල් පැහැය (කළු) නිසා පසු කාලීනව යම් යම් ගැටලු තත්ත්aවයන් ඇති වූ බවද පෙනේ. හින්දු සමයෙහි දේව ත්‍රිත්වයේ ප්‍රමුඛ දෙවියා වූ විෂ්ණු දෙවියන්ද නිල් පැහැ දෙවියෙකි. ඒ නිසා "විෂ්ණු" සහ "උපුල්වන්" දෙදෙනෙක්‌ නොවැ, එකම දෙවි කෙනෙක්‌ යෑ යි බොහෝ දෙනෙක්‌ පිළිගන්නට වූහ. මේ නිසා සිදුවූයේ උපුල්වන් නාමය සමාජ පිළිගැනීමෙන් ඈත් වී ඒ තැනට "වෙණු" දෙවියා පත් වීම යෑ. මේ නිසාම බෙහෝ බෞද්ධයෙන් විශ්වාස කළේ බුදු සමයේ භාර කාරත්වය විෂ්ණු දෙවියන් සතු බවෙකි.

"විෂ්ණු දෙවියන් තමාගේ ආගම වූ හින්දු සමය නො රැක බුදු සමය රැක ගනීද ?"

මේ පිළිබඳව කුමාරතු`ගු මුනිදස්‌හු මෙසේ පවසති.

ඇතැමෙක්‌ උපුල්වනු විෂ්ණු යෑ යි ගනිත්. පිහිට නැති ගැන්මෙකි. "විෂ්ණු" නම් දඹදිව දෙවියෙකි. බැහැරින් දඹදිවට ආ බමුණෝ එහි එකලැ වැජඹුණු තමන්ගේ දේව ගණයට ඇතුළු කොටැ ගත්හ. විෂ්ණුද ඔවුනතර වෙයි. ලාංකාවට බමුණු බලය නොපැමිණි බැවින් ඔවුන්ගේ දෙවිවරු අමුත්තන් මෙන් ඇතුළතුන් මෙන් නොපැමිණි යෝය. විෂ්ණු හු ගේ දේවිය ලක්‌ෂ්මීය. පුත් ප්‍රද්යුම්ය යෑ. "ලක්‌ෂ්මිය" නම් මුත් ඇතැම් කවීන් විසින් වරින් වරැ "උපුල්වනු" වෙත යවන ලද බව සැබෑය. "ප්‍රද්යුම්න" යා එක වරකුදු නොගියේ යෑ. උපුල්වනු ගේ දේවි "චන්ද්‍රවතීය" පුත් "ධනු" යෑ මෙසේ වෙන් වැ මැ වැජඹෙන විෂ්ණු උපුල්වන් දෙදෙනා පුරාතන සිංහල යෝ සියලු විටැ දෙ දෙනෙකු කොටැ මැ දුටහ. අවුල නැගුණේ මෑත කැ යෑ. එදා දන්නවුන් අතරැ නොවේ.

(ප්‍රබන්ධ සංග්‍රහය. කුමාරතුංග මුනිදාස - විසිදුනු ප්‍රකාශන - 2012)

සන්දේශ කවීන් අතර අතිශයින් ජනප්‍රිය දෙවියන් වුයේ උපුල්වන් දෙවිඳුය. තිසර, මයුර, පරෙවි සහ කෝකිල සන්දේශ කරුවෝ තම කාව්‍ය අරමුණු උදෙසා මේ දෙවිඳුන් පිදූහ. ඔවුහු උපුල්වන් විෂ්ණු දෙදෙනෙක්‌ බව මැ දත්හ.

23. විසේස වන් විකුමෙන් සදිසි දිය බඳ

රෝසේ රැපෑ පෙරැ සුර කුරිරු මන්බිද

තෝසේ මුනිදු සාසන රක්‌නා නිබඳ

වෙසේ සිරින්a කිහිරැලි පුල් සුරිඳු සඳ

(කොවුල් සදෙස අලවු ඉසි සැබිහෙළ 1962 ඵගෘගගුණසේන සහ සමාගම)

"කොවුල් අසුන්" කරුවා කිහිරැලි උපුල් වන් දෙවිඳු පිළිබඳ වැ වැදගත් කරුණු තුනක්‌ ඉදිරිපත් කරයි. එනම්,

1. "විෂ්ණු" හා සාමාන බව (දියබද විෂ්ණුට නමෙකි)

2. පෙර සුරන් මන් බිඳි බව සහ

3. මුනිදු සාසන රක්‌නා බව යි.

"මයුර" කිවියාද "135 සිරිලක පැවරු හැ`ගි පුරදර දැරු මුදුනි" යන්නෙන් සක්‍රයා බුදු සස්‌න රැක්‌මේ කාරිය උපුල්වන් දෙවිඳු හට පැවැරුවේ යෑ යි. යන මහා වංශ පුවත යළිදු සිහිපත් කරවයි.



5. තෙපුල් ගෙනැ සුරිදු රක්‌නා ලෙව් සස්‌න " යන රහල් හිමියන්ගේ පරෙවි අස්‌නෙ හි කවි පාදයෙන් ද මේ මහාවංශ පුවත සිහිපත් කරවයි.

මේ හැම කවියෙක්‌ම උපුල්වන් දෙවියන් "කාලවර්ණ" බව (නිල්) මහත් ඉහළින් වර්ණනා කොට ඇත. මේ කළු පැහැය ගැන තිසර කරුවා මවන කාව්‍ය සංකල්පය රසවත් යෑ.

21.

සතොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ

වියොවින් පැමිණි දුක්‌ නොම විඳ එ අවසරේ

රැකියෙන් මිසක්‌ බඹ බඹ සරම අරතරේ

සොවගින් තැවී කලු නොම වේ ද වෙනු යුරේ

(තිසර සන්දේශය ආචාර්ය කුලතිලක කුමාරසිංහ 1985 ප්‍රදීප ප්‍රකාශකයෝ)

"වෙනු" බිරිද "සිරි" සහ "බඹ" බිරිඳ "සරසවි" දෙදෙනාම උපුල්වනු වෙතමැ වෙසෙති. මේ නිසා වෙණු සොවින් තැවී කළු වී යෑ "බඹ" සිල් රැකී නිසා "වෙණු" මෙන් කළු නොවියෑ යන මේ කවි සිතුවිල්ල යෑ.

කිsසිදු තැනෙක නොදකින අමුතු මැ පුවතෙක්‌ "කොවුල්" අසුන් කරුවා මෙසේ ඉදිරිපත් කරයි.

30. අමා ඇ»රු උන් සද විදු රසුන් මතු

පමා නොවී පැමිණෙත යුදට වසවතු

තමා මැ සැවු බල පෑ සිටි නොබා සිතු

මෙමා වනනු කිම මොහු තෙද බල අමුතු

(කොවුල් සදෙස්‌ විවරණය - අලවුඉසි සැබිහෙළ 1962)

බුදුහිමි විදුරසුන් අරා වැඩ සිටින කල්හි වසවතු යුදට ආ කල හැම දෙවියෙක්‌ බඹෙක්‌ මැ බියේ පලා ගිය බැව් කියෑ වේ. එහෙත් උපුල්වන් දෙවි බියේ පලා නොගොස්‌ බුදුහිමි රැක්‌මේ සිටියේලු.

බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ වාර්තාවේ දෙවිනුවර දෙවොලේ විනාශය පිළිබඳව මෙබඳු විස්‌තරයෙක්‌ සඳහන් වේ.

පෘතුගීසීන් මෙහි පැමිණියේ මෙහි වූ වස්‌තු සම්භාරය කොල්ලකා ගැනීම සඳහාය. ඔවුන් ගොඩ බසින විට විරුද්ධව නැගී සිටි කිසිවෙක්‌ නොවූහ. පෘතුගීසීන් කළ විනාශය ඔවුන්ගේ රාජකීය ඉතිහාසඥයා ගේ වචන වලින්ම මෙසේ දැක්‌විය හැකිය.

පෘතුගීසින් දුටු මිනිස්‌සු නගරය හැර දමා රට තුළට පැන ගියහ. එයට ඇතුළු වූ අපේ පිරිසට විරුද්ධව නැගී සිටි කිසිවෙක්‌ නොවූහ. දා ගැබ ළ`ගට පැමිණි මේ පිරිස වාසල් දොරවල් කඩා දමා විරුද්ධව කිසිවකු නොදැක හැම තැනම ඇවිද්දෝය. කිsසිවකු නැති බව දුටු "තෝමස්‌ ද සූසා" එය යුද්ධ භටයන්ට භාර දුන්නේය. ඔවුන් මුලින්ම කළ දේ නම් එහි පැවති දහසකට වැඩි තරම් ප්‍රතිමාවන් විනාශ කර දැමීමය. ඉක්‌බිති ඔවුන් කළේ ස්‌තූපයේ ධාතු ගර්භය බිඳීමය. එහි පැවති කර`ඩු ආදිය සුනු විසුනු කළ ඔවුහු භාණ්‌ඩාගාරය බිදීමට පටන් ගත්තෝය. ඇත් දත් වටිනා රෙදි පිළි, තඹ, සඳුන්, මැණික්‌, දාගැබ පිළිබඳ අලංකාර භාණ්‌ඩ ආදී වස්‌තු රාශියක්‌ ඔවුන් අතට පත්විය. මෙයින් තම තමන් කැමති දේ පැහැර ගත් ඔවුහු සෙසු දේ වලට ගිනි තබා විනාශ කර දැමූහ.

(බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාව 2550 බුද්ධ ජයන්ති විශේෂ මුද්‍රණය. විසිදුනු ප්‍රකාශන 2006)

එදා "පෘතුගීසීන්" දෙවිනුවර උපුල්වන් දෙවොලට කළ මහා විනාශය පිළිබඳ වැ දීර්ඝ විස්‌තරයක්‌ එහි ඇතුළත් වෙයි. ඉක්‌බිතිව උපුල්වන් දෙවොල "ශ්‍රී විෂ්ණු" දේවාලය බවට පත් වී මැ පිළිබඳව "දෙවිනුවර දෙවියෝ කවරහුද? " යන හිසින් යුතුව "දෙවිනුවර විජයනන්ද" හිමියන්ගේ ලිපියක්‌ "ලක්‌මිණි පහන" පතෙහි 1995 මැයි 14 දින කලාපයෙහි පළ විය. එහි මෙසේ දැක්‌වේ.

පෘතුගීසී විනාශයෙන් පසු වැ අස්‌වාමික ව තුබූ රජමහ වෙහෙරෙහි පති බවට පත් හ, "ශ්‍රී ධර්මරක්‌ෂිත" අමරපුර නිකාය පිsහිටුවා වදාළ අත්තුඩාවේ සිරි දම් රැකි මා හිමියෝ. එය සිදු වූයේ එක්‌ දහස්‌ අටසිය දහතුනේ දී යෑ. මෙ සමයෙහි දේවාලයක්‌ නොතිබුණු සේයෑ, සමහරුන් නිගමනය කරන්නේ කරුණු නොවිමසා කැරුණු නිගමන යකි මේ. ඉපැරැණි උපුල් දෙවොල පෘතුගීසීන් අතින් විනාශයට පත් වුවද නොබෝ කලකින් මැ බැතිමතුන් විසින් දේව කෝවිලක්‌ ඉදි කොට විෂ්ණු රූපය රෙදි කබෙකැ ඇඳැ එහි තබා පුද පූජා පවත්වන්නට පටන් ගත්හ. උපුල්වන් දෙවොල ශ්‍රී විෂ්ණු දේවාලය සේ හඳුන් වන්ට වූයේ මෙතැන් සිට යෑ. (දෙවිනුවර දෙවියෝ කවරහුද ? දෙවිනුවර විජයනන්ද හිමි 1995 මැයි 14 ලක්‌මිණි පහන)

මෙයින් පේන්නේ ඉපැරැණි දෙවොල උපුල්වන් දෙවොලක්‌ වුවද පෘතුගීසීන් කළ විනාශයෙන් පසුව මෙහි ශ්‍රී විෂ්ණු දෙවොලක්‌ ගොඩ නැඟු බවයි. මෙසේ සිදුවූයේ නොදැ න මැ දැයි දන්නෝ දෙවියෝ මැ පමණක්‌ වෙති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.