අතරමගදී හමුවු දැරිය (කෙටිකතාව)

මම ගමේ යැමට අකුරැස්‌ස බසයට ගොඩවුණෙමි. පැය එකහමාරක්‌ පමණම ගමනට ගතවුවත් එයින් මට හොඳ විවේකයක්‌ නැත්නම් හොඳ නින්දක්‌ ලබාගත හැකි බව මම දනිමි. පසුපස අසුන හැර අන් සියලු ආසන මා සඳහා සූදානම් වී ඇත. කවුළුවක්‌ ළඟ අසුනක මා හිඳ ගත්තේ නින්දක්‌ නොගියොත් අවට පරිසරය නරඹමින් යා හැකි බැවිනි. සෙනඟ එකා දෙන්නා බසයට ගොඩනගියි. මා කවුළුවෙන් පිටත බැලුවෙමි.

හක්‌මන නගරය ලස්‌සන පොසොන් කලාපයට ලහි ලහියේ සූදානම් වන අයුරු පෙනෙයි. පිට්‌ටනියේ තොරණද පිට්‌ටනිය වටා ඇති වැටේද නේක ප්‍රකාර විදුලි බල්බ වැල්වලින් අපූරු මෝස්‌තර සැකසී ඇත. පොසොන් පෝයදා නගරය සැණකෙළියක්‌ බවට පත්වනු ඇත. රටේ උද්ඝෝෂණවලට ලක්‌වූ විදුලි බිල මෙයට බලපාන්නේ නැතුව ඇති යෑයි මට සිතුණි.

අයිස්‌ බීම පැකට්‌ එකක්‌ අතින් ගත් කුඩා දැරියක්‌ බසයට ගොඩවූයේ ඇයගේ අම්මාත්, තාත්තාත් සමගය.

"මට කොනට එන්න ඕන අම්මේ"

"ඔය බීම පැකට්‌ එක ඉවර කරලා කොනට එන්න. නැත්නම් මගේ සායෙත් ඔය බීම හලයි"

ඇය තනිවම වෙනත් අසුනකට ගොස්‌ බීම පැකට්‌ටුව උරනු මට පෙනේ. සුදු පැහැයෙන් අඩු වුණත් හොඳ සිරියාවන්ත ගතියක්‌ ඒ දරුවා තුළ විය. සුදු තිත් වැටුණු රතු රෙද්දෙන් මැසූ ලස්‌සන ගවුමක්‌ ඇය හැඳ සිටියාය. බීම පැකට්‌ටුව ඉක්‌මනින් ඉවර කළ ඇය අම්මා සිටි අසුනට දිව ආවාය. ඒ මා වාඩිවී සිටි අසුනට පිටුපස අසුනයි.

"අම්මේ අර තොරණෙ ලයිට්‌ දමන්නෙ කවදද?"

"පොසොන් පෝයට නේ..."

"අපිත් එදාට එමු බලන්න... හොඳෙයි අම්මේ..."

බසය හක්‌මන නගරයෙන් පිටත් විය. එතැන් සිට පැය එකහමාරක්‌ මා බසයේ කාලය ගතකළ යුතුය. බසය සෙමින් සෙමින් ගමන් කරයි. මැරතන් ශූරයෙකුට නොව අපි වැනි සාමාන්‍ය කෙනකුටත් ඊට වඩා හයියෙන් දුවන්නට පුළුවන් යෑයි මට සිතේ. කුමක්‌ කරන්නද? මේ පාරේÊවෙනත් බසයක්‌ නැති නිසා මොවුන් යන තාලයට අපිද යා යුතුය.

බසය දැන් කිරින්දට ආසන්නය. කිරින්දේත් බසය මිනිත්තු පහක්‌ දහයක්‌ නවත්වාගෙන සිටියේය. කිරින්දේ විහාරස්‌ථානය ළඟ බසය නැවැත්විණ. හරින ලද කවුළුවලින් බෝපත් බසය තුළටද ඇතුළු වී තිබිණ.

"අම්මේ මං බෝ කොළයක්‌ කඩා ගන්නවා"

"එපා නිකම් කඩල පොඩිකරල දමන්න"

"මම පොඩි කරන්නේ නෑ. මට අතේ තියාගෙන ඉන්න. අර කොළ ගොඩක්‌ වැටිල තියෙන්නේ. ඒ කොළ වැටෙන්නෙ මොකෝ අම්මේ..."

"කොළ ඉදෙනකොට හුළඟ හමන කොට බිමට වැටෙනවා"

"අම්මේ මේ පන්සලෙත් බුදු හාමුදුරු කෙනෙක්‌ ඉන්නවාද?

"ඔව්. හැම පන්සලකම බුදු හාමුදුරුවො ඉන්නවා..."

"බුදු හාමුදුරුවො අත මෙහෙම තියාගෙන ඉන්නේ ඇයි අම්මේ...?"

ඇගේ හස්‌ත මුද්‍රdව බැලීමට පිටුපසට හැරෙන්නට මට සිතුණද දැරියගේ කතාවට බාධාවක්‌ වන නිසා මම සවන් දීගෙනම සිටියෙමි.

"ඒ භාවනා කරනවා නේ..."

"මම නිදුක්‌ වෙම්වා, නීරෝගි වෙම්වා කියන කොටද අම්මේ..."

"ඔව් පැටියෝ ඔව්"

ඉතින් අපි එහෙම අත තියාගෙන භාවනා කරන්නේ නෑනේ..."

"භාවනා කරන එක විදියක්‌ තමයි ඒ..."

"අපේ ඉස්‌කෝලෙටත් හාමුදුරු කෙනෙක්‌ ආවා අම්මේ. හරි වයසයි. ප්‍රින්සිපල්, ටීචර්ලත් එක එක දේවල් දුන්නා. අපි හැමෝම අපේ කෑමවලිනුත් දුන්නා. මමත් දුන්නා. සමහරු බිස්‌කට්‌ දුන්නා සමහරු නූඩ්ල්ස්‌ දුන්නා. සමහරු කෙසෙල්ගෙඩි දුන්නා. ඒ හාමුදුරුවන්ට ඇවිදින්නත් අමාරු වගෙයි. ඇවිදින්න බැරි වුණාම කවුද අම්මේ හාමුදුරුවන්ගෙ වැඩ කරන්නෙ?"

"ඒ වැඩ කරන්න පොඩි හාමුදුරුවරු ඉන්නවානේ..."

"ඊට පස්‌සේ ඒ හාමුදුරුවො මැරෙනවාද අම්මේ"

"හා හා එහෙම කියන්නෙ නෑ. පව්. හාමුදුරුවරු අපවත් වෙනවා කියල කියන්නේ. ඕන නැති කතා කියන්නෙ නැතිව දැන් ඔය කතා පෙට්‌ටිය වහගෙන යං" අම්මා ටිකක්‌ සැරෙන් කතා කළාය.

"අනේ අම්මෙ මේක අහන්නකෝ. අපේ දහම් පාසලෙත් පොඩි හාමුදුරු කෙනෙක්‌ හිටියා. සුදුයි බෝලගෙඩිය වගෙයි. ෂෝක්‌ කොලු පැටියා අම්මේ..."

"මම කිව්වා නේද කතා පෙට්‌ටිය වහගන්න කියලා"

මට ඇගේ කතාවට තනිවම හිනා ගියත් එය පිටුපසට නොපෙනෙන නිසා ගැටලුවක්‌ වූයේ නැත. මම අසල අසුන්වල සිටි අය දෙස බැලුවේ ඔවුන්ටත් ඇගේ කතා ඇසුණාදැයි දැන ගැනීමටය. සමහරෙක්‌ ඇය දෙස බැලුවත් ඇගේ කතාව ගැන ඔවුන්ගේ අවධානයක්‌ තිබුණේ නැත. ඇගේ සුරතල් කතාව මගේ කනේ තිබුවාක්‌ මෙන් ඇසුණු නිසා මමත් ඕනෑකමින් අහගෙන සිටියෙමි. අම්මාගේත්, දියණියගේත් කතාව මිස මට තාත්තාගේ කටහඬ නම් ඇසුණේම නැත. දැරිය ද තාත්තාගෙන් කිසිවක්‌ ඇසුවේද නැත.

"තේක්‌ක නැන්දේ... තේක්‌ක නැන්දේ... තේක්‌ක මාමා කොයි. තේක්‌ක නැන්දේ..."

ඇය ඉන්පසු රබන් පදයක්‌ තාලයට ගායනා කරන්නට පටන් ගත්තාය.

"කෝ අම්මෙ මගෙ වතුර බෝතලේ"

"ඇයි කියවලා කියවලා තිබහ වුණාද? කෝප්පයට වත්කරගෙන බොන්න."

"කෝප්ප නැන්දේ කෝප්ප නැන්දේ කෝප්ප මාමා කොයි..."

"ඒකත් අර කවිය වගේම හොඳයි නේද අම්මේ..."

"හොඳයි, හොඳයි"

"අම්මෙ තව දුරයිද අම්මේ..."

"නෑ වැඩි දුරක්‌ නැහැ"

"දැන් සැමි නැන්දලා අපටත් එක්‌ක බත් උයලා ඇති නේද අම්මේ..."

"ඔව් ඔව්. බත් උයලා ඔයාට කිරි හොදිත් හදලා ඇති..."

"මේ බෑග් එකේ මොනවද අම්මේ"

"අවුස්‌සන්න එපා. ඔහොම තියෙන්න අරින්න...." අම්මා නැවත සැරෙන් කතා කළාය.

"මටත් පොඩි අක්‌කට ගිහින් දෙන්න අයිස්‌ පැකට්‌ එකක්‌ අරන් ඕන හොඳේ.

"බස්‌ එකෙන් බැස්‌සාම අරගෙන දෙන්නම්."

කඹුරුපිටියේ බසය නතර විය. මම එවර හොඳින් පිටුපසට හැරී දැරිය දෙස බැලුවෙමි. යාන්තමට මට සිනාවක්‌ පෑ ඇය අම්මාගේ පිටුපසින් ගොස්‌ බසයෙන් බැස්‌සාය. කම්මැලිව ගෙවෙන්නට තිබූ කාලයට සතුටක්‌ එක්‌කළ ඇයට මම සිතින් ස්‌තුති කළෙමි.

රංජනී මල්ලිකා සමරවීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.