බේරුවල 6 දෙනා ගස්‌
එකම පවුලේ සිවු දෙනෙක්‌ද වෙති


කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර

2003 නොවැම්බර් 16 වැනිදා බේරුවලදී පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට පොලුවලින් පහරදී මන්නා පිහියකින් කපාකොටා බරපතළ තුවාල කිරීම සම්බන්ධ නඩුවේ චූදිතයන් හයදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් බවට ඊයේ (31 වැනිදා) තීන්දු කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඔවුනට මරණ දණ්‌ඩනය නියම කළේය.

මරණීය දණ්‌ඩනය නියමවූවන් අතර එකම පවුලේ සහෝදරයෝ සිව් දෙනෙක්‌ද ඥතීහු දෙදෙනෙක්‌ද වෙති.

මෙසේ මරණීය දණ්‌ඩනය නියම වූයේ මොහොමඩ් ෆයිසර් ලියා ඛාන්, මොහොමඩ් මන්සූර් මොහොමඩ් රාමීර්, මොහොමඩ් මන්සුන් මොහොමඩ් හාරිස්‌, මොහොමඩ් මන්සුර් මොහොමඩ් රිස්‌වාන්, මොහොමඩ් ෆයිසර් හුසෙන්, මොහොමඩ් මන්සූර් මොහොමඩ් ඉර්සාර් යන අයයි.

2003 නොවැම්බර් 16 වැනිදා බේරුවලදී අයුතු ජනරාශියක සාමාජිකයන් වී මොහොමඩ් ජාබීර් මොහොමඩ් රිස්‌ලි නමැත්තා ඝාතනය කිරීම හා අබුසාලි මොහොමඩ් නමැත්තාව පොලුවලින් පහරදී මන්නා පිහියකින් කපා බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා නගා විත්තිකරුවන් හත් දෙනෙකුට විරුද්ධව කළුතර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

නඩු විභාගය ආරම්භයේදීම එක්‌ චූදිතයකු වූ මොහොමඩ් මන්සුර් නමැත්තා මරුමුවට පත්වූ හෙයින් චූදිතයන් හය දෙනෙකුට විරුද්ධව මෙම නඩුව විභාගයට ගැනිණි.

නඩු විභාගය ආරම්භයේදී චූදිතයින් තමන් චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළෙන් මෙම නඩු විභාගය ඇරඹිණි.

ජූරි සභාවක්‌ නොමැතිව මෙම නඩුව විභාග වූ අතර නීති විරෝධි ජනරාශියක්‌ වීමේ චෝදනාවට මාස හයක සිරදඬුවමක්‌ද පුද්ගලයකුට පහරදී මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවට වසර 18 ක සිර දඬුවමක්‌ද මරණීය දණ්‌ඩනයට අමතරව චූදිතයන්ට විනිසුරු නියම කළේය.

එල්ලූම් ගහට නියමු වූ අය

මරණ දණ්‌ඩනයට නියමවූවන් පොලිස්‌ ආරක්‍ෂාව මැද රැගෙන යන අයුරු.
ඡායාරූපය - විජයසිරි විද්‍යාසේකර

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.