රෝහල් සේවා බරපතල ලෙස රෝගීවෙයි
බත් පතටත් වදින ලකුණු ඉන්ධන බිල් විදුලි බිල් ලක්‌ෂ ගණන් එකතුවෙලා


අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිය යුතු රුපියල් කෝටි හැටක මුදලක්‌ රජයෙන් මෙතෙක්‌ නොගෙවීම නිසා ඉදිරි සති දෙකෙන් පසුව දිවයින පුරා සෑම රෝහලකම නේවාසික රෝගීන්ට ආහාර සැපයීම නතරවීමේ අවදානමක්‌ ඇත.

ආහාර සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබිය යුතු මෙම මුදල ගෙවීම සති ගණනාවක සිට පැහැර හැරීම නිසා දිවයිනේ සෑම රෝහලකටම ආහාර සැපයීම නතර විය හැකි බවට ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අනතුරු ඇඟවූහ.

ඊට අමතරව කරාපිටිය රෝහලේ වාහන සඳහා ඉන්ධන ලබා ගන්නා පිරවුම්හලට ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ දොළහක මුදලද මෙතෙක්‌ නොගෙවීම නිසා එම රෝහලට ඉන්ධන සැපයීම අදාළ පිරවුම්හල විසින් නතර කර ඇතැයිද මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීවේය.

කරාපිටිය සහ බදුල්ල රෝහලේ හිඟ විදුලි බිල රුපියල් හාර කෝටිය ඉක්‌මවන බව කී රත්නප්‍රිය මහතා කරාපිටියේ පමණක්‌ රුපියල් තුන්කෝටි හතළිස්‌ දෙලක්‍ෂයක විදුලි බිලක්‌ ගෙවිය යුතුව ඇතැයිද කීය.

මීට අමතරව බදුල්ල රෝහලේ රෙදි සේදීම වෙනුවෙන් අප්‍රේල්, මැයි සහ ජුනි මාස සඳහා ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 30 ක මුදල මෙතෙක්‌ ගෙවා නැතැයිද බාහිර ඔසුසල්වලින් මිලට ගත් ඖෂධ සඳහා එම රෝහල විසින් ගෙවිය යුතු රුපියල් කෝටියක මුදලද මෙතෙක්‌ අමාත්‍යාංශය විසින් ගෙවා නැතැයිද ඔහු කීය.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කළ රුපියල් කෝටි 25000 න් රුපියල් කෝටි 500 ක්‌ රජය විසින් කප්පාදු කර ඇතැයි කී රත්නප්‍රිය මහතා මේ නිසා ඉදිරියේදී සෞඛ්‍ය සේවාව ඉතා බරපතළ අර්බුදයකට ලක්‌වීමේ අනතුරක්‌ තිබෙන බවද කීවේය.

මෙම මාධ්‍ය හමුවට පරිපූරක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් ජයසේකර, වෛද්‍ය පර්යේෂණාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සභාපති ජනක නිශාන්ත යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයෝ රැසක්‌ සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.