විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන්
ගැබිනි මව මිය ගියේ යෑයි කියා වැලිඔය වතු කම්කරුවෝ විරෝධතාවක

වෛද්‍යවරයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ පවත්වන්න
ප්‍රදේශවාසීහු

පරීක්‍ෂණයක්‌ පවත්වන්න මධ්‍යම සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාට දැන්වූවා
දික්‌ඔය රෝහල් අධ්‍යක්‍ෂ



මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

හැටන් දික්‌ඔය මූලික රෝහල වෙත ඉකුත් 28 වැනිදා අලුයම ඇතුළත් කරන ලද ගැබිණී කාන්තාවක්‌, එම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගියේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් විරෝධය දක්‌වමින් හැටන් වැලිඔය තේ වත්තේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක්‌ පෙරේදා (30 දා) පස්‌වරුවේ මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ හැටන් වැලිඔය තේ වත්තේ පුදුකාඩු කොටසේ පදිංචිව සිටි විසිහය හැවිරිදි රන්ජන් සූමති නමැති කාන්තාවකි.

විරෝධතා පුවරු රැගෙන මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි මියගිය කාන්තාවගේ ඥතීන් හා වැලිඔය වත්තේ කම්කරුවන් මෙහිදී මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් කියා සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් දික්‌ඔය මූලික රෝහල වෙත ඉකුත් 28 වැනිදා අලුයම ඇතුළත් කර ඇති මෙම මියගොස්‌ සිටින කාන්තාව එම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් කිසිදු පරීක්‍ෂාවක්‌ නොකර හෙද නිලධාරීන්ගේද සහායක්‌ නොමැතිව පැය දෙකකට ආසන්න කාලයක්‌ රෝහලේ රඳවාගෙන සිට රෝහලේ ගිලන් රථයෙන් නාවලපිටිය මූලික රෝහල වෙත ගෙන යමින් සිටි අතරමඟදී ඉතා අවාසනාවන්ත ලෙස මිය යැම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන්ට බල කරමින් මෙම උද්ඝෝෂණය සිදු කරන බවය.

මියගිය කාන්තාව අසාධ්‍යව දික්‌ඔය රෝහලට (28 දා) අලුයම 4.45 ට පමණ ඇතුළත් කිරීමෙන් අනතුරුව ගැබිණි වාට්‌ටුවේ එම අවස්‌ථාවේ කාර්ය භාරව සිටි වෛද්‍යවරයා ඇය පරීක්‍ෂා කර රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට දුරකථනයෙන් රෝගියාගේ අසාධ්‍ය තත්ත්වය පිළිබඳව දන්වා ඇතත් එහෙත් රෝගියා පරීක්‍ෂා කිරීමට අදාළ විශේෂඥ වෛද්‍යවරයා නොපැමිණි නිසා කාර්ය භාරව සිටි වෛද්‍යවරයා විසින් එම කාන්තාවට වහා කෘත්‍රිම ශ්වසනය ලබාදී එදින අලුයම 5.45 ට පමණ රෝහලේ සේවකයන් දෙදෙනෙක්‌ද සමග ගිලන් රථයෙන් නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යෑවීමට පියවර ගත් බව දික්‌ඔය මූලික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අප මේ පිළිබඳව දික්‌ඔය මූලික රේහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම සඳහන් කළේ,

සිද්ධියට සම්බන්ධ මියගිය කාන්තාව පිළිබඳව තමන් වෙත නාවලපිටිය මූලික රෝහලෙන් දන්වා ඇති බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරිය වෙත හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙත මේ වන විටත් දන්වා ඇති බවත්ය.

මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ දික්‌ඔය රෝහලේ සායනයට සහභාගි වන ගැබිණි මවුවරුන් රැසක්‌ මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අප සමග කියා සිටියේ සායනවලට සහභාගි වූ විට තමන්ට මෙම වෛද්‍යවරයා විසින් හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන ඔහුගේ පෞද්ගලික වෛද්‍ය සේවා ස්‌ථානයට පැමිණ වැඩිදුර ප්‍රතිකාර හා උපදෙස්‌ ලබා ගන්නා ලෙස නිරන්තරව පවසන බවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.