රතුපස්‌වල යුද පිටියක්‌ වෙයි
විරෝධතා විසුරුවයි
මරණ 1යි; 20කට තුවාල


සමන් ගමගේ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චන්න විඡේනාම, ගම්පහ අතිරේක - ටී. දිසානායක, ලක්‍ෂ්මන් පයාගල සහ සචිත්‍ර ඇල්වලගේ

වැලිවේරිය රතුපස්‌වල කර්මාන්ත ශාලාවකට එරෙහිව ගම්වාසීන් ඊයේ (01 වැනිදා) සිදුකළ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට යුද හමුදාව හා පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර, කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශවාසියකු මියගොස්‌ තවත් 20 දෙනකුට අධික පිරිසකට තුවාල සිදුවී ඇත.

තුවාල ලැබූ අය අතර වැලිවේරිය පොලිස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. කේ. උපාලි මහතාද වෙයි. වැලිවේරිය රතුපස්‌වල ඇතුළු ගම් දොළහක ජනතාවගේ පානීය ජලය අපවිත්‍ර වීමට බලපාන බව කියන කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට එම ප්‍රදේශවාසීහු ඊයේ (01 වැනිදා) සවස නුවර - කොළඹ පාරේ බැලුම්මහර හා කඩුවෙල නුවර පාරේ වැලිවේරිය හා රතුපස්‌වල යන ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයන් සිදුකර තිබේ.

මියගිය අය බැලුම්මහර කතුරුවත්ත පදිංචිව සිටි 35 හැවිරිදි අයෙකි. ඊයේ (01 වැනිදා) සවස වනවිට මෙම සිද්ධියට විරෝධය පළකරමින් මියගිය අයගේ ඥතීහු හා එම ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ ගම්පහ මූලික රෝහල අවට ඒකරාශී වී සිටියහ.

එමෙන්ම මෙම මරණය හේතුවෙන් වැලිවේරිය, රතුපස්‌වල අවට ප්‍රදේශවාසීහු ඊයේ (01 වැනිදා) රාත්‍රි වනවිට මහත් කැළඹීමට පත්ව සිටියහ.

මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් තිදෙනකු පමණ ද තුවාල ලැබූ අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටත් හානි සිදුවී ඇත. එමෙන්ම මාධ්‍යවේදීන්ගේ කැමරාවල "චිප්" ද යුද හමුදා සාමාජිකයන් බලහත්කාරයෙන් ඔවුන් සන්තකයට ගෙන ඇත.

යුද හමුදා සාමාජිකයන් හා පොලිස්‌ නිලධාරීන් කිසිදු ඉවක්‌ බවක්‌ නොමැතිව වතුර ප්‍රශ්නයෙන් බැටකන ජනතාවට පන්න පන්නා පහරදුන් බව අප මාධ්‍යවේදීහු "දිවයින"ට පැවසූහ. මෙහිදී කුපිත වූ ජනතාවද ගල්මුල් ප්‍රහාර ආරක්‍ෂක අංශ වෙත එල්ලකර තිබේ.

ඊයේ (01 වැනිදා) පෙරවරු 10.00 වන විට මෙම ජල ප්‍රශ්නයට විසඳුම් නොලැබීම නිසා වැලිවේරිය, ඇටිකෙහෙල්ගල්ල, ඇඹරලුව, නැදුන්ගමුව, වනාත, හීන්පන්විල, බටහිර වැලිවේරිය, ඇතුළු ප්‍රදේශ ගණනාවකම 3000 ක පමණ පිරිසක්‌ විරෝධතා ව්‍යාපාරයට එක්‌ව සිටියහ. මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්‌වමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මාරාන්තික උපවාසයක නිරතව සිටිති.

මේ අතර රතුපස්‌වල පරීක්‍ෂණ අවසන් වනතුරු අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට ඊයේ (01 වැනිදා) සවස රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී තීරණය වූ බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.

මෙම ප්‍රහාරයෙන් පසුවද ප්‍රදේශවාසීහු ඊයේ (1 වැනිදා) රාත්‍රි වනවිටත් තැනින් තැන රැස්‌වී සිටින බවට වාර්තා විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.