කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

රජරට විශාලා මහනුවරක්‌ බවට පත් කරමින් දොරින් දොර මළ බෙර වැයෙද්දී බහුජාතික සමාගම් බූවල්ලොත් උන්ට උඩගෙඩි දෙන නිලධාරියොත් උන්ගේ මුදල් බුදින අනෙක්‌ එවුනුත් සාද සැණකෙළිවල සතුටු වූහ. කලකට පෙර විශ්විද්‍යාල ක්‍ෂෙත්‍රයේම ජාතිමාමක විද්වතුන් පිරිසක්‌ රජරටට අත් වූ මේ ආසනික්‌ ව්‍යසනය ගැන රටට හඬ නගා කීහ. එවේලේත් කෘෂි ත්‍රස්‌තයන්ගෙන් යෑපෙන තවත් පිරිසක්‌ අවලාද නැගූහ.

කෙසේ හෝ එලෙස ගංවතුරක්‌ සේ පැතිර ගිය වකුගඩු ලෙඩේ දැන් වයඹටත් පැමිණ තිබේ. කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට මේ රට ගිලගන්නට ඉඩ හැර කෘෂි බලධාරිහුද නැලවෙති. ඒ අස්‌සේ වකුගඩු මාරයා නැගී සිටියි. ඩෙංගු ගැනත් වකුගඩු රෝගීන් ගැනත් මොනතරම් තොරතුරු එළිදරව් කළද ආණ්‌ඩුවේ බීරි අලින්ට නොඇසෙයි. එහෙත් අපි මේ කතාවත් රටට කියන්නෙමු.

මේ මොහොතේ වයඹ ඡන්ද සැණකෙළියට හායි ගගා සුදානම් වෙයි. එහෙත් වයඹ ජනතාව මුහුණ දී සිටින මේ විපත ගැන ඒ මහත්වරු කී දෙනෙක්‌ දනිත්ද?

මේ වන විට වකුගඩු උවදුර තදින් පැතිර ඇත්තේ වයඹ පළාතේ ගිරිබාව, රාජාංගණය, වම්ඉවුර, පැරකුම්පුර ඇතුළු ප්‍රදේශ කිහිපයකය. ඉකුත් දිනෙක ඒ මිනිසුන්ගේ ශෝචනීය ඉරණම දැසින් දැක ගැනීම සඳහා අපි එහි ගියෙමු. කියන්නට දෙයක්‌ ඉතුරුව නැත. කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් රජරට සේම ඒ බිමද අද විශාලා මහනුවරක්‌ කර අවසන්ය.

කිසා ගෝතමිය අබ මිටක්‌ ගැනීමට නොමළ ගෙයක්‌ සොයා ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. නමුත් මේ මොහොත වන විට ගිරිබාව, රාජාංගණය වම් ඉවුර, පැරකුම් පුර ඇතුළු අවට ප්‍රදේශවල වකුගඩු රෝගියකු නොමැති ගෙයක්‌ සොයා ගැනීමද උගහටය.

පවතින සැබෑ තත්ත්වය ඒ තරමටම දරුණු වූවකි. වැඩිහිටි, තරුණ සහ බාල ආදී ලෙසින් වූ කිසිදු බේදයකින් තොරවම අද ඔවුහු කෘෂි රසායන ත්‍රස්‌තවාදයේ ගොදුරු ලෙස වකුගඩු රෝගීන් වී සිටින්නාහ.

ගිය ගමනේදී අපි ගෙන් ගෙට යමින් ඒ මිනිසුන්ගේ දුක ඇසුවෙමු. ඒ යන අතරේ දුටු ඇතැම් නිවසක දින කිහිපයකට පෙර එසවුණු සුදු කොඩියක්‌ තවමත් සුළඟට වැනෙමින් තිබේ.

"මහත්තයෝ ඒ ගෙදරත් ලෙඩෙක්‌ ඉඳලා දවස්‌ පහකට කලින් මැරුණා. අපේ ගමන් සගයා වී සිටින ගිරිබාව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අජිත් බණ්‌ඩාර මහතා අපට ඒ සුදු කොඩිවල නිමිති කියා දෙමින් සිටී. එසේ දුටු සෑම කොඩියක්‌ම වකුගඩු රෝගයෙන් මියගිය අයකුගේ මළ ගම වෙනුවෙන් එසවූ ඒවාම වේ.

ඒ සංචාරය අතරතුර අපි අජිත්ගෙන් මේ ෙ€දනීය කතාවේ සුලමුල විමසා සිටියෙමු. හේ අපට එය පවසන්නට විය.

මහත්තයෝ. මේක අපේ ගම්වලටත් ඇවිත් කියලා අපි දැනගත්තේ මීට අවුරුදු පහකට විතර ඉස්‌සර වෙලා. ඒ පැරකුම්පුර රෝහලට ඇවිත් හිටිය වෛද්‍යවරයකුගේ මග පෙන්වීම නිසා.

ඒ දොස්‌තර මහත්තයා ඉස්‌පිරිතාලෙට ආවට පස්‌සේ රජරට තිබෙන වකුගඩු රෝගය ගැන අපිව දැනුවත් කරලා ගමේ ස්‌වේච්ඡා සංවිධානයක ඉල්ලීම මත මිනිස්‌සු පරීක්‍ෂා කළා. එතකොට තමයි දැන ගත්තේ ගමේ අයගෙන් වැඩි දෙනෙක්‌ ඒ වෙනකොටත් වකුගඩු රෝගීන් වෙලා කියලා.

අද ඒ විදිහට මුලින්ම දැනගත්තු රෝගීන් හැම දෙනාම මැරිලා. ඒත් දැන් ඊටත් වැඩි පිරිසක්‌ රෝගීන් වෙලා. මහත්තයෝ ගිරිබාව, රාජාංගණය වම් ඉවුර කියන්නේ වයඹ පළාතේ අන්තිම මායිම. මෙහේ මිනිස්‌සු ලෙඩ වුණහමත් බෙහෙත් ගන්න ගියේ අනරාධපුරයට. ඒ නිසා ලෙඩා වයඹ වුණාට ලියාපදිංචි වුණේ අනුරාධ පුරේ.

මේ කරුණ නිසා වයඹට වකුගඩු රෝගය ඇවිල්ලා කියලා කාටවත් දැනගන්න ලැබුණේ නැහැ. ඒක යටපත් වෙලා තිබුණේ. මෙහේ විතරක්‌ නෙමේ අද වෙනකොට පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව වගේ ප්‍රදේශවලටත් මේක පැතිරිලා තියෙනවා.

මහත්තයෝ අද ගිරිබාවටයි පැරකුම් පුරටයි රෝහල් දෙකක්‌ තිබුණට ගමේ ලෙඩෙක්‌ට ප්‍රතිකාර කරන්න කිසිම පහසුකමක්‌ ඒ රෝහල්වල නැහැ. පහසුකම් නැති වුණාට සෞඛ්‍ය අමාත්‍යංශය ඒ රෝහල්වල වෛද්‍යවරුන්ට වකුගඩු රෝගීන් පිළිබඳ සත්‍ය තත්ත්වය මාධ්‍යයට හෙළි කරන්න එපා කියලා නියෝග කරලා තියෙනවා කියල නම් අපිට ආරංචියි.

වගකිවයුතු අයට ඕනේ මේක වහගන්න. ඒත් මහත්තයෝ මැරෙන්නේ අපේ මිනිස්‌සු. අපේ දරුවෝ. අපි පාසල්වල දැනුවත් කිරීමේ වැඩසටහන් කරනකොට මේ රෝගයට ගොදුරු වෙච්ච සමහර දරුවෝ ලියුම් ලියලා දෙනවා, "අනේ මාමේ මටත් ලෙඩේ තියෙනවා. මම කවදාහරි ඉගෙනගෙන වෛද්‍යවරයෙක්‌ වෙලා මේකට බෙහෙතක්‌ හොයා ගන්නාවා කියලා.

ඒ කතා හරිම සංවේදියි මහත්තයෝ. මේ දරු පැටව් දන්නේ නැහැ ඔවුන් මරණයට ළං වෙලා ඉවර බව. අජිත් මේ සියල්ල පවසන්නේ දැඩි වේදනාවකිනි.

අජිත් සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ කී කතාවෙන් පැහැදිලි වන්නේ වගකිවයුත්තන්ට අවැසිව ඇත්තේ සත්‍ය වසන් කිරීම මිස මේ මිනිසුන්ගේ මරණීය ඉරණමට විසඳුමක්‌ ලබා දීම නොවන බවකි.

අපි තවත් ඒ බිමේ ඇවිද ගියෙමු. ඒ යන අතරතුරේ තැනෙක පොල් ලෙලි සිහින්ව කපා සකස්‌ කරන ස්‌ථානයක්‌ හමු වූයේ අහම්බයක්‌ ලෙසිනි. එහි වැඩ කරමින් සිටි තරුණයකුගෙන් අපි කරුණු විමසා සිටියෙමු.

"මහත්තයෝ අපි මේ පොල්ලෙලි කපන්නේ රට යවන්න. කියන්න ලැඡ්ජයි. ඒ රටවලට මේවා ගන්නේ රසායනික පොහොර නැතුව තමන්ගේ වගාවන් කරගෙන ආහාර හදා ගන්න. බලන්න කොච්චර ලස්‌සනද?

අපේ රටේ ගොවියව පුළුවන් තරම් රසායනික පොහොරවලට හුරු කරලා ඒ මිනිස්‌සු පොහොර නැතුව වගා කරගෙන කනවා. මහත්තයෝ මේක වසංගතයක්‌. මිනිස්‌සු විතරක්‌ නෙමේ පරිසරයත් විනාශ වෙනවා.

අද බලන්න මේ ප්‍රදේශයේ ඇළ දොළවල හිටපු දණ්‌ඩි පැටියෙක්‌වත් ජීවත් වෙලා ඉන්නවද කියලා. එකෙක්‌වත් නැහැ. වෙලේ හිටිය පණුවගේ ඉඳන් හැම සතාම වඳවෙලා. අඩුම තරමේ පාසි ගහක්‌වත් ඉතුරු වෙලා නැහැ. මහත්තයෝ ඒ විසත් එක්‌කයි අපි ජීවත් වෙන්නේ.

ඔහු කී කතාවේ ඇත්තේ මහා අරුතකි. සැබැවින්ම කෘෂි රසායන ත්‍රස්‌තවාදය ලෙසින් මේ ඉස්‌මතුව තිබෙන්නේ මේ බිමට එරෙහි තවත් කුමන්ත්‍රණයක්‌ විය නොහැකිද? නමුත් ඒ පිළිබඳ සොයාබැලීමට තබා අවධානය යොමු කිරීමටවත් අද කිසිවකුත් නැත.

අමනයෝ රටේ ජනතාවගේ ජීවිත සමග පන්දු කෙළිද්දී වගකිවයුත්තෝ බකන්නිලා සිටින්නාහ. දැනුදු සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකමය.

අප ගිය මේ ගමනේදී නෙත ගැටුණු දැනුදු සිතට වද දෙන අතිශය සංවේදීම දසුන වූයේ තවමත් කටේ කිරි සුවඳ පවා නොගිය අහිංසක දරු පැටවුන් දෙදෙනකුද මේ වන විට වකුගඩු මාරයාගේ ගොදුරක්‌ වී සිටීමය. දෙවියනේ මේ මිනිසුන්ගේ ජීවිත ඇත්තේ මොනතරම් අභාග්‍යයක්‌ තුළ සිරවීද?

මේ දරුවන් දෙදෙනාද දැන් මසකට වරක්‌ ප්‍රතිකාර සඳහා රෝහල්ගත විය යුතුය. අද ගිරිබාව රාජාංගණය ඇතුළු අවට ප්‍රදේශ රැසක වකුගඩු රෝගීන් වී සිටින මිනිසුන් අතරින් ඇතැම්හු දිළිඳුකම හමුවේ ප්‍රතිකාරයක්‌ නොලබාම මරු තුරුලට යන්නාහ.

තවත් තැනෙක සැමියා අහිමිව යැම හමුවේ මුළු දරු පවුලක්‌ම අනාථ වී ගොසිනි. නිවසේ සිටින රෝගීන් නිසා පවුලේ බර දරාගත නොහැකි වූ සමහර දෙමාපියන් මල් වන් දරුවන්ගේ අනාගතය අනාථ මඩම්වලට භාර කර ඇත්තේය.

ගමේ රෝගීන් අතරින් බොහෝ දෙනකු රුධිර කාන්දුකරණය සඳහා සිරුර අභ්‍යන්තරයේ යන්ත්‍ර සවිකරගෙන සිටින්නේ අමුතු ජීවීන් කොටසක්‌ ලෙසිනි. නමුත් මේ සියල්ලෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැසියෝම වන්නාහ.

කෘෂි රසායන සමග මේ බිමට හෙලූ ආසනික්‌, කැඩ්මියම් ඇතුළු වස විෂ අඩංගු භූගත ජලය පානය කිරීම මොවුන් වකුගඩු මාරයාට ගොදුරු වීමේ ප්‍රධාන සාධකය ලෙස අද වන විට පැහැදිලිව හඳුනාගෙන තිබෙන්නකි.

අවම තරමේ මෙකී ගම්මානවල ජීවත් වන ඉදිරි පරම්පරාව හෝ වකුගඩු මාරායාගෙන් බේරා ගැනීමට නම් මේ මිනිසුන් වෙනුවෙන් ප්‍රථමයෙන් සිදු විය යුත්තේ මතුපිට පානීය ජල ව්‍යාපෘති ඇති කරමින් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා දීමේ වැඩපිළිවෙළක්‌ වෙත යැම බව අපි අවස්‌ථා කිහිපයකදීම සටහන් කළෙමු.

එය කළ හැක්‌කකි. එහෙත් තවමත් සිදු නොවන්නකි. එවැන්නක්‌ සිදු කිරීමට තබා සිතන්නටවත් වගකිවයුතු බලධාරින්ට වුවමනාවක්‌ තිබේදැයි යන්න පිළිබඳ සිතීමේදී මහා පිළිකුලක්‌ සිතට නැඟේ. ඒ හැඟීම්ද සමගින් මේ මිනිසුන්ගේ මරණය දකින කල්හි දැනෙන වේදනාව හමුවේ ඔවුන්ට එවන් ඉරණමක්‌ අත්කර දුන් සැමකෙකුටම හෙණ ගහපන් කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්‌ද අද අපට නොවේ.



සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.