විෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියයි

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අදහස්‌ දැක්‌වූ අයුරු. එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න, මාධ්‍ය ප්‍රකාශක නවීන්ද සොයිසා යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.
ඡායාරූපය - කමල් බෝගොඩ

මෙරට වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන "ඩයිසයනඩයමයිට්‌" (ඩීසීඩී) නමැති විෂ රසායනික අඩංගු බව තහවුරු වී ඇති ආනයනික කිරිපිටි වර්ග හතර හා එම කිරිපිටි සමාගම නිපදවන අතුරු කිරි නිෂ්පාදන වහාම වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (06 දා) පැවැසීය.

කාර්මික තාක්‌ෂණ ආයතනය විසින් මෙරටට ආනයනික කිරිපිටි වර්ග හතරක ඩීසීඩී රසායනික අඩංගු බව පරීක්‍ෂණවලින් තහවුරුකර තිබියදීත් අදාළ කිරිපිටි සමාගම්වලට යටවී සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට පරිභෝජනය කිරීමට නුසුදුසු එම කිරිපිටි සමාගම් තවදුරටත් ආරක්‌ෂා කරනුයේ කුමන පදනමකින්දැයි වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රශ්න කර සිටියේය.

අදාළ කිරිපිටි වර්ගවල අන්තර්ගතව පවතින ඩීසීඩී රසායනිකය එම කිරිපිටි සමාගම් නිපදවන අතුරු කිරි නිෂ්පාදනවලත් අන්තර්ගතව පැවැතීමේ අවදානමක්‌ ඇති නිසා එම නිෂ්පාදන සම්බන්ධවද පුළුල් පරීක්‍ෂණ සිදුකර ඒ පිළිබඳව පියවර ගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

මෙසේ ඩීසීඩී රසායනික අඩංගු බව තහවුරු වී ඇති නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි වර්ග ඇතුළු වෙනත් කිරිපිටි වර්ගවල "බොටුලිනම්" නමැති විෂ ද්‍රව්‍යද අන්තර්ගතව ඇති බව නවසීලන්ත රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනුම් දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත පෙරේදා (05 දා) දැනුම් දුන් බවද වෛද්‍ය පාදෙණිය කීවේය.

එම විෂ ද්‍රව්‍ය පදනම් කරගෙන පමණක්‌ කිරිපිටි වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීම නතර කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇති නිවේදනය පිළිබඳ තම සංගමය සෑහීමකට පත් නොවන බව කී වෛද්‍ය පාදෙණිය ඩීසීඩී රසායනිකය අඩංගු බවට තහවුරු වී ඇති කිරිපිටි වර්ග වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

ඩීසීඩී යනු කෘෂි රසායනිකයක්‌ වන අතර ඒවා අන්තර්ගත කිරිපිටි වර්ග දිගු කාලීනව භාවිත කිරීමෙන් ස්‌නායු පද්ධතිය, වකුගඩු, අක්‌මාව වැනි ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝගාබාධවලට ජනතාව ගොදුරු විය හැකි බවත් මෑත කාලයක සිට මෙරට වැඩිහිටියන් හා දරුවන් බෝ නොවන රෝගවලට ගොදුරුවීම කෙරෙහිද එම කිරිපිටි පානය බලපාන්නට ඇති බවත් ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සම්බන්ද නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවමත් මෙම ඩීසීඩී අඩංගු කිරිපිටි සම්බන්ධ ප්‍රසිද්ධියේa ප්‍රකාශයක්‌ කර නොතිබීම බලවත් අඩුපාඩුවක්‌ බවත් මෙරටට ගෙන එන කිරිපිටි ඇතුළු ආහාර වර්ගවල විෂ ද්‍රව්‍ය අඩංගුදැයි පරීක්‍ෂා කිරීම සඳහා විෂ පරීක්‍ෂණාගාරයක්‌ අරඹන ලෙස කරන ලද ඉල්ලීමටද නිසි පිළිතුරක්‌ ලැබී නැති බවත් වෛද්‍ය පාදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (06 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.