ළදරු කිරිපිටිවල ඩී.සී.ඩී වාර්තාව ප්‍රතික්‍ෂේප
කළ නිලධාරීන් ගැන විමර්ශනය කරන්න

- රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

ඒමන්ති මාරඹේ

මෙරටට ආනයනික කිරිපිටි වර්ග හතරක ඩී. සී. ඩී. රසායනික අන්තර්ගතව ඇති බවට නිකුත් කර ඇති කාර්මික තාක්‌ෂණ ආයතනයේ පර්යේෂණ වාර්තාව නොසලකා හරිනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක්‌ කර ඔවුනට එරෙහිව දැඩි පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සංගමය පෙරේදා (05 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

රජය යටතේ පවතින කාර්මික තාක්‌ෂණ ආයතනය වැනි වැදගත් ආයතනයක්‌ විසින් කරනු ලැබූ පරීක්‌ෂණයක වාර්තාවෙන් අදාළ කිරිපිටි වර්ගවල ඩී.සී.ඩී. රසායනික අඩංගු බව තහවුරු කර තිබියදීත් එම වාර්තාව පිළිනොගෙන තායිලන්තයේ රසායනාගාරයක කළ පරීක්‍ෂණ වාර්තාවක අනුව එම කිරිපිටිවල කිසිදු විෂ රසායනිකයක්‌ අඩංගුව නොමැති බවට ප්‍රකාශ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයා සම්බන්ධව වෙනම පරීක්‌ෂණයක්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කරන්නැයිද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

තායිලන්තයෙන් සිදු කරගත් බව කියන පරීක්‌ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.