ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව
රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය
ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි

- රජරට සරසවියේ වෛද්‍යපීඨ කථිකාචාර්ය චන්න ජයසුමන

ජයන්තිපුර - උඩගෙදර

රජරට ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගයට බරපතළ අයුරින් මුහුණ පා ඇති ජනතාවගේ මුත්‍රාවල ඇති ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝ ග්‍රෑම් 92.44 ක්‌ දක්‌වා ඉහළගොස්‌ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කළ අවසාන වාර්තාවේ සඳහන් වන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියි.

වකුගඩුවක්‌ නරක්‌වීමට තිබිය යුතු අවම ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝ ග්‍රෑම් 20.74 වන බවත් රෝගය නැති අනික්‌ ප්‍රදේශවල ජනතාවගේ මුත්‍රාවල පවතින ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝ ග්‍රෑම් 56.74 ක්‌ බව ඔහු සඳහන් කරයි. මෙසේ ආසනික්‌ කැඩ්මියම් සහ පළිබෝධ නාශක ද්‍රව්‍ය ජනතාවගේ ශරීරවල ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය බව කී ඒ මහතා රජරට ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ශරීරවල පවතින ආසනික්‌ ප්‍රමාණය ඉහළගොස්‌ ඇත්තේ එම ජනතාව පානය කරන කිවුල් ජලය ආසනික්‌ මිශ්‍රවූ ආහාරවල පවතින විස දිය නොකරමින් තැන්පත් කර තබාගැනීම නිසා බවයි. පසුගිය කාලවල යම් අදහසක්‌ තිබුණා රජරට ප්‍රදේශවල සිටින ජනතාවගේ වකුගඩු රෝගයට හේතුව ඔවුන් විසින් භාවිත කරන ඇලුමීනියම් භාජන නිසා බව. නමුත් අද වනවිට එම අදහස බොරුවක්‌ බවට පත්වෙලා. එනිසා මෙම විස සහිත කෘෂිරසායනික භාවිතය නැවැත්විය යුතුයි.

කිසිදු ගඳක්‌ වර්නයක්‌ හා සුවඳක්‌ නැති මෙම ආසනික්‌ ද්‍රාවනය ඕස්‌ටේ්‍රලියාවේ වෙසෙන ආදි වාසීන් වන ඇබෝර්ජියන්වරුන් සමූල ඝාතනය කිරීම සඳහා කැප්ටන් කුක්‌ විසින් භාවිත කළ බවත් ජයසුමන මහතා අවධාරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.