කිරිපිටි සමාගම් 3ක නිෂ්පාදන තහනම්

ඒමන්ති මාරඹේ

ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (7 දා) ප්‍රධාන පෙළේ සමාගම් 3 කට දැනුම් දුන්නේය.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ආහාර උපදේශක කමිටුව විසින් තීරණ රැසක්‌ ද ගනු ලැබීය.

සී.ඩී.සී. (Dicyandamide) අඩංගු යෑයි සැක කෙරෙන කිරිපිටි සාම්පල ඊයේ (7 දා) සිට කාර්මික තාක්‍ෂණික ආයතනය වෙත පරීක්‍ෂණ සඳහා යොමු කෙරේ.

ඒවායේ ඩී.සී.ඩී. ඇති බවට තහවුරු වුවහොත් ඒවාද වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට නියමිතය. එමෙන්ම මෙම කාර්යයන් සිදුවන්නේ ද යන්න සොයා බලන ලෙස සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරු, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ සහ කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත චක්‍රලේඛයක්‌ මගින් දැනුම් දී ඇත. නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටිවල සාම්පල වරායේදී ලබාගෙන ඒවායෙහි ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටලිනම් නමැති බැක්‌ටීරියාව ඇත්දැයි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම බැක්‌ටීරියාව නොමැති කිරිපිටි තොග වරායෙන් මුදා හැරීමට තීරණය කරන ලදී.

එමෙන්ම Whey Protein අධිසාන්ද්‍රණය අඩංගු හා අතිරේක පෝෂණීය ආහාර වෙළෙඳපොළෙන් ඉවත් කෙරේ. ඒ අනුව මේවා අඩංගු නිෂ්පාදන විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත්, Whey Protein අධි සාන්ද්‍රණය සහිත කිරිපිටි සහ අතිරේක පෝෂණීය ආහාර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ ක්‌ලෝස්‌ටි්‍රඩියම් බොටලිනම් නමැති බැක්‌ටීරියාව අන්තර්ගත දැයි සොයා බැලීම සඳහා පර්යේෂණ සිදුකිරීමට තීරණය කරන ලදී.

ආහාර උපදේශක කමිටුවේ තීරණ පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ප්‍රධාන ආහාර බලධාරියා වශයෙන් මෙම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (07 දා) නිවේදනය කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.