කිරිපිටිවල ඩී. සී. ඩී. පිළිබඳව අයි. ටී. අයි. වාර්තාව හෙට දෙයි

අජිත් අලහකෝන්

ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිඩ් (ඩීසීඩී) රසායනිකය අඩංගුද නැද්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව හෙට (බ්‍රහස්‌පතින්දා) කාර්මික තාක්‍ෂණික ආයතනය (අයි. ටී. අයි.) විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතය.

මෙම වාර්තාව පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කාර්මික තාක්‍ෂණික ආයතනයෙන් විමසූ විට එය බ්‍රහස්‌පතින්දා භාරදීමට හැකි වන බව එම ආයතනය දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට කීවේය.

මෙම වාර්තාවට අනුව ආනයනික කිරිපිටි සම්බන්ධව තීන්දුවක්‌ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන බව ද ඉහත ප්‍රකාශකයා කීවේය. එමෙන්ම දැනට වරායෙන් නිදහස්‌ කිරීම අත්හිටුවා ඇති කිරිපිටි තොගය ද වෙළෙඳපොළට නිකුත් කරනවාද නැද්ද යන්න හෙට ලැබෙන වාර්තාව අනුව තීරණය කරනු ඇතැයි හෙතෙම කීවේය.

මීට අමතරව ආනයනික වේ ප්‍රොaටීන් අධි සාන්ද්‍රණය සහිත කිරි ආහාර පිළිබඳව සෞඛ්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයේ වාර්තාව නිකුත් කිරීමට සති දෙකක පමණ කාලයක්‌ ගතවනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.