ඩී. සී. ඩී. ඇතැයි තහවුරු කළ
කිරිපිටි වෙළෙඳ පොළෙන් ඉවත් කළා

- මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය

ඒමන්ති මාරඹේ

ඩී. සී. ඩී. රසායනිකය අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය තහවුරු කළ ආනයනික කිරිපිටි වර්ග 4 ට අයත් ඛාණ්‌ඩවල කිරිපිටි පැකට්‌ සියල්ල මේ වන විට වෙළෙඳපළෙන් ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

අදාළ කිරිපිටි පැකට්‌ දිවයින පුරා වෙළෙඳසල්වලින් ඉවත් කරගෙන ඇති බවත් වෙළෙඳපළෙහි දැනට පවතින සියලු කිරිපිටි වර්ගවල සාම්පල "ඩී සී ඩී" රසායනිකය හා "ක්‌ලොස්‌ට්‍රීඩියම්" බැක්‌ටීරියාව අඩංගුදැයි පරීක්‍ෂා කර බැලීම සඳහා කාර්මික තාක්‍ෂණ ආයතනය හා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවමින් පවතින බව එම සංගමයේ සභාපති එම්. ජී. රෝහණ මහතා පැවසීය.

මෙම කිරිපිටි සාම්පල වෙළෙඳපළේ පවතීදැයි පරීක්‍ෂා කිරීමේ කාර්යය සඳහා දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 1860 දෙනාම සහභාගි වූ බව පැවසූ රෝහණ මහතා මෙරටට ගෙන එන කිරිපිටි ඇතුළු ආහාර වර්ගවල අඩංගු විෂ ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීම සඳහා දේශීය පරීක්‍ෂණ ආයතන සතුව පවතින රසායනාගාර පහසුකම් පුළුල් කළ යුතුව ඇතැයි ද අවධාරණය කළේය.

කොළඹ පදනම් ආයතනයේ ඊයේ (13 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ඩී. යු. එස්‌. ආර්. ආර්. මුදලිගේ, සංස්‌කාරක ප්‍රදීප් අබේරත්න යන මහත්වරු ද කතා කළහ.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.