ආහාර සුරක්‍ෂිතතාව ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා

ඒමන්ති මාරඹේ

දියර කිරි භාවිතය රට තුළ ප්‍රචලිත කර කිරිපිටි ආනයනයට විදේශයට ඇදී යන විශාල මුදල් සම්භාරය ඉතිරි කරගැනීම ඇතුළු ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අටවැදැරුම් යෝජනා ඇතුළත් ප්‍රතිපත්තියක්‌ ලබන සතියේ රජයට භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම අටවැදෑරුම් යෝජනා ඇතුළත් ප්‍රතිපත්තිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පිහිටුවීමට යෝජිත ආහාර පිළිබඳ කැබිනට්‌ අනුකාරක සභාවට භාරදීමට තම සංගමය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙරේදා (12 දා) පැවසීය.

දැනට මුද්‍රණය කිරීම අවසන් වෙමින් පවතින මෙම ආහාරවල සුරක්‍ෂිතභාවය පිළිබඳ අටවැදැරුම් ප්‍රතිපත්තියට දියර කිරි භාවිතය රට තුළ ප්‍රචලිත කිරීම, ආහාරවල සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා දැඩි නීති රෙගුලාසි හඳුන්වාදීම, වෙළෙඳපොළට ඉදිරිපත් වන විෂ ද්‍රව්‍ය ඇතුළත් ආහාර වර්ග හඳුනාගැනීම සඳහා විෂවේදය පිළිබඳ වෛද්‍යවරුන් වැඩියෙන් බිහිකිරීම, මෙරටට ගෙන එන ආහාරවල අඩංගු විෂ ද්‍රව්‍ය හඳුනාගැනීමේ නවීන තාක්‍ෂණයෙන් යුතු වෛද්‍ය රසායනාගාර පහසුකම් ඇතිකරලීම, රජයේ රෝහල්වලට ප්‍රමාණවත් පෝෂණවේදීන් සංඛ්‍යාවක්‌ පුහුණු කර පත්කිරීම, දැනට දුර්වල නීතිරීති පද්ධතියක්‌ ඇතුළත් ආහාර පනත ශක්‌තිමත් කරලීම, බෝනොවන රෝග වැළැක්‌වීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම, ළදරුවන්ට මවුකිරි ලබාදීම තවදුරටත් ප්‍රවර්ධනය කරමින් අතිරේක ළදරු කිරිපිටි භාවිතය තහනම් කිරීම යන යෝජනා ඇතුළත් වේ.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පෙරේදා (12 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.