ශ්‍රී ලංකාවේද පොලිසියක්‌ තිබේ!
(පුදුමයි ඒත් ඇත්තයි)

අතකොටාගේ අත යට සේවය කරමින් පොලිස්‌ සේවයම මස්‌තබාල්දු කළ පරණ දැරණියගල පොලිසිය පිළිබඳ පුවත් අසා හොඳටම කළකිරී නිදා සිටි රටේ මිනිස්‌සු ඊයේ හදිසියේම පිබිදී කිරිඳිවැල පොලිසිය දෙස බලා මෙසේ කීවෝය.

"මේ ලෝකයේ හොඳම පොලිසියයිෘ"

කිරිඳිවැල පොලිසියේ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් පෙරේදා කිරිඳිවැල නගරය හරහා බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්‌ අත්අඩංගුවට ගත්තේය. එසේ කිරීම, හරිහැටි තම රාජකාරිය ඉටුකරන කවර පොලිස්‌ නිලධාරියාගේත් වගකීම වියයුතු බැවින් අප විසින් මෙහිදී ඔවුනට විශේෂ ප්‍රශංසාවක්‌ පිරිනමනු නොලැබේ.

අපගේ විශේෂ ප්‍රශංසාව ඔවුනට හිමිවන කතාව මෙසේය.

මෙම බලපත්‍ර නොමැති වැලි ලොරිය අත්අඩංගුවට ගැනීම නිසා වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට යකා නැංගේය. එතුමා සම්පූර්ණ අමාත්‍යවරයකුව සිටියේ නම් මොකා නගීද යන්න අප නොදනිතත් අලංකාර කොට කලිසමකින්ද සැරසී කිරිඳිවැල පොලිසියට කඩා වැදුණු ඔහුගේ අරමුණ වූයේ නීති විරෝධී වැලි ලොරිය නිරුපද්‍රිතව ආපසු රැගෙන යැමය. එහි සිටි වැරදිකරුවන් බලහත්කාරයෙන් නිදහස්‌ කර ගෙන යැමය.

එහෙත්, මේ වූ කලී අප පෙරකී දැරණියගල පොලිසිය නොවූ හෙයින් මෙහි සිටි පොලිස්‌ නිලධාරීන් කිසිවකුත් මේ දේශපාලන චණ්‌ඩියාට බිය වූයේ නැත. ඔහු තම මැර ගෝල බාලයන් පිරිසක්‌ පිරිවරා පැමිණියද බිය වූයේ නැත. (සාමාන්‍යයෙන් මොන අළුගුත්තේරුකමකට පසුව හෝ දේශපාලනඥයකු තම මැර ගෝල බාලයන් පිරිවරා පොලිස්‌ ස්‌ථානයක්‌ වැටලූ වහාම නිලධාරීන් නිල ඇඳුම් උඩින් ජංගි ඇඳ ගැනීම ශ්‍රී ලංකාවේ බොහෝ පොලිස්‌ ස්‌ථානවල සිරිතය.) වැලි ලොරිය නිදහස්‌ නොකළොත් මැතිවරණ දින අල්ලා වයඹට මාරුකර යවනවා කීවද බිය වූයේ නැත. රැව්වද බිය වූයේ නැත. ගෙරෙව්වද බිය වූයේ නැත. තප්පුලෑවද බිය වූයේ නැත. බිරුවද බිය වූයේ නැත. කොටින්ම කොට කලිසමකින් සැරසී පැමිණ සිටි නිසාවත් බිය වූයේද නැත. අවසානයේදී නියෝජ්‍ය ඇමැති චණ්‌ඩියා මුළු රටේම හූ හඬ මධ්‍යයේ (රටේ ජනතාව මෙම සිදුවීම දෙස බලා සිටියේ නම් යන උපකල්පනය යටතේය.) පරාජිතව පොලිසියෙන් ගමට ගිය අතර කිරිඳිවැල පොලිසියේ වීරෝදාර පොලිස්‌ රණවිරුවෝ අත්අඩංගුවට ගත් වැලි ලොරියත් සැකකරුවනුත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.

අපේ ප්‍රශංසාව අන්න එයටÊය.

පසුගිය කාලය මුළුල්ලේම අපේ රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූයේ රටේ නීතිය අභිබවා දේශපාලනඥයන් සර්කස්‌ පෙන්වීම මෙන්ම දේශපාලනඥයන් විසින් පොලිසිය හෑල්ලුවට ලක්‌කරනු ලැබීමද වේ. ඊට එරෙහිව කටයුතු කරන පොලිස්‌ නිලධාරියකු වේ නම් ඔහු ඈත පළාතකට මාරුකර යෑවීමද, අපරාධ පරීක්‌ෂණයෙහි අවංකවම යෙදෙන නිලධාරියකු වේ නම් ඔහු ඉන් ඉවත් කර කොහේ හෝ මුල්ලක සුභසාධන කටයුත්තකට යෙදවීමද දැකිය හැකි වූ සුලබ ප්‍රවණතාව විය.

ඒ ඉරණමම කිරිඳිවැල පොලිසියේ රාජකාරිය අකුරටම ඉටු කළ ඉහත සිදුවීමට අදාළ නිලධාරීන්ටත් අත්වේදැයි අපි දැඩි අවධානයකින් බලා සිටිමු. එබඳු දුර්යෝගයකින් ඔබගේ අවංක, කාර්යශූර නිලධාරීන් මුදවා ගන්නැයි අපි පොලිස්‌පතිතුමාගෙන් ඉල්ලීමක්‌ ද කර සිටිමු.

කෙසේ හෝ තම දේශපාලන පක්‌ෂයද එහි නායකයන්ද රවටා දේශපාලනයට පිවිසෙන බොහෝ දේශපාලනඥයෝ අනතුරුව තමා වටා තිබෙන දේශපාලන බලය දැක තුමූම මවිතයට පත්වන්නෝය.

මෙහිදී තමා මහජන සේවකයකු වශයෙන් නොව මහජන පාලකයකු වශයෙන් කල්පනා කරන ඇතැම්හු තම ඡන්ද බල ප්‍රදේශයේ පවත්නා චංචල නිශ්චල ඕනෑම දෙයක බලධාරියා ද තමන් යෑයි කල්පනා කරති. පොලිසිය යනු රටේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීමට තිබෙන්නක්‌ය යන්න ඔහු පාසල් ගිය අයෙක්‌ නම් ඒ පාසලේ දී ඔහුට අසන්නට ලැබුණු අලංකාර වාක්‍යයක්‌ පමණය. ඇත්තවශයෙන්ම ඔහුට පොලිසිය වනාහි ඔහුගේ ප්‍රවේණිදාසයෙකි. තමන්ගේ හොර වැඩ, මැර වැඩ අල්ලන්නට හැකි ප්‍රවේණිදාසයා කවරෙක්‌ද? ඊටත් වැලි ලොරි...?

කිරිඳිවැල පොලිසිය දැන හෝ නොදැන මේ මැටිමෝල් දේශපාලන මමංකාරයට සහ අදේශපාලනික ස්‌වයං වින්දනයට නියම පොලිස්‌ පා පහරක්‌ දී තිබේ. මින්පසු මෙය පාඩමකට ගතයුතු ශ්‍රී ලංකාවේ අනෙකුත් පොලිස්‌ ස්‌ථාන කළ යුත්තේ (ඒවායේ ඕ.අයි.සී. වරුන් නිල ඇඳුම උඩින් ජංගි අඳින්නන් නොවේ නම්) තම පොලිස්‌ ස්‌ථාන වෙත කඩා වදින මෙබඳු දේශපාලන ගවයන්ට යටත් නොවීම පමණක්‌ නොවේ, පොලිස්‌ රාජකාරියට බාධා කළාට උන් අල්ලා මංචු දමා හිර කූඩුවේද දැමීමය. (පසුව උන්ගේම ගෝල බාලයන් උන් නිදහස්‌ කරගෙන මල් මාලා දමා කැඳවාගෙන යැම වෙනÊම කරුණකි.)

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.