ජාතික ලොතරැයි මණ්‌ඩලයේ 50 වැනි සංවත්සරයට
දැවැන්තම ත්‍යාග මුදලක්‌ පිරිනැමන 'මෙගා ෆිෆ්ටි' නමින් නව ලොතරැයිපතක්‌

අනුර බාලසූරිය

ජාතික ලොතරැයි මණ්‌ඩලයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදලක්‌ පිරිනැමෙන "මෙගා ෆිෆ්ටි" (මෙගා 50) නමින් නව ලොතරැයිපතක්‌ පසුගිය (13 දා) වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී.

රුපියල් 100 ක වටිනාකමකින් යුත් මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් රුපියල් කෝටි පහක මුදලක්‌ පිරිනැමෙන අතර තවත් ප්‍රථම ත්‍යාගයන් ලෙස මෝටර් රථ 50 ක්‌ පිරිනැමෙනු ඇත.

මෙහි ප්‍රථම ලොතරැයිපත 13 දා ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපති චමින්ද අතලුවගේ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අලෙවි කරන ලදී.

සුපිරි ත්‍යාගය සඳහා සුපිරි අංකය සමග අංක 3 ම නිවැරදිව ගැලපේ නම් රුපියල් කෝටි පහක මුදලක්‌ පිරිනැමේ. ප්‍රථම ත්‍යාගය සඳහා අංක 3 ක්‌ පමණක්‌ නිවැරදිව ගැලපේ නම් මයික්‍රෝ පැන්ඩා වර්ගයේ මෝටර් රථ 50 ක්‌ පිරිනැමේ. දෙවන ත්‍යාගයට අංක 2 ක්‌ පමණක්‌ නිවැරදි නම් රුපියල් 1000 බැගින්ද, එක්‌ අංකයක්‌ පමණක්‌ නිවැරදි නම් රුපියල් 100 බැගින් ත්‍යාග මුදල් පිරිනැමේ.

මෙම ලොතරැයි දිනුම් ඇදීම ජාතික ලොතරැයි මණ්‌ඩලයට වසර 50 ක්‌ සපිරෙන ලබන ඔක්‌තෝබර් 5 වන දින දිනුම් ඇදීමට නියමිතය.

මෙවන් දැවැන්ත ත්‍යාග මුදලක්‌ පිරිනැමෙන ප්‍රථම ලොතරැයිය ලෙස මෙගා ෆිෆ්ටි ලොතරැයිය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්‌වන බව එහි සභාපති චමින්ද අතලුවගේ මහතා පැවසීය.

1949 වසරේදී එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් 1955 දී ආරෝග්‍යශාලා නමින් ලොතරැයියක්‌ මුලින්ම ආරම්භ වූ බව හෙතෙම සිහිපත් කළේය.

ඉන් අවුරුදු 8 කට පසු 1963 දී අංක 11 මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්‌ඩලය මෙරට ස්‌ථාපිත වී එදා මෙදා තුර රටේ සමස්‌ත සංවර්ධන ක්‍රියාවලියට මුදල් උපයා ගැනීමේ අරමුණ ඉටු කරමින් සිය සමාජයීය යුතුකම මනාව ඉටුකර ඇතැයි ද සභාපතිවරයා කීවේය.

2009 න් පසු රුපියල් මිලියන 6.2 ක්‌ වූ අලෙවි පිරිවැටුම මේ වන විට රුපියල් මිලියන 12 ක්‌ දක්‌වා වර්ධනය කර ගැනිමට හැකි වූ බවත් පැවසූ සභාපතිවරයා ජාතික ලොතරැයි මණ්‌ඩලය දිනපතා දිනුම් අදින ලොතරැයි 6 ක්‌ හා සූරන ලොතරැයි 2 ක්‌ වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙන බවද සඳහන් කළේය.

මේ වසරේදී පමණක්‌ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් මිලියන 3761 ක මුදලක්‌ පිරිනමා ඇති බව ද ලොතරැයි මණ්‌ඩලය ආරම්භ කළ දා සිට මේ රටේ ජනතාව තැබූ විශ්වාසය මණ්‌ඩලය ඒ ආකාරයෙන්ම ඉටුකරමින් ශක්‌තිමත්ව ඉදිරියට ගමන් කරන බවද පැවසීය.

මෙගා ෆිෆ්ටි සංවත්සර ලොතරැයිය හඳුන්වාදීමේ මෙම මාධ්‍ය හමුව 13 දා පස්‌වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

නව ලොතරැයිය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවේදී සාමාන්‍යාධිකාරි එම්. එස්‌. කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරනායක, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ජානක ශ්‍රී වර්ණසිංහ යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූ අතර, අධ්‍යක්‍ෂවරුන් වන රවි අබේවර්ධන, සම්පත් දිසානායක, ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ බණ්‌ඩාර යන මහත්වරු ද එක්‌වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.