අත්‍යාවශ්‍ය ඖෂධ පමාවෙන්
රෝගීන් මරු කටේ!

අජිත් අලහකෝන්

වෛද්‍ය සැපයීම් අංශය විසින් පිළිකා රෝගීන්ට ලබාදිය යුතු අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම මාස තුනක්‌ ප්‍රමාද කිරීම නිසා රෝගීන් දහස්‌ ගණනකගේ ජීවිත අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත.

''ඉතා හදිසියි" (very urgent) යෑයි පවසමින් පිළිකා රෝහල් වෛද්‍යවරුන් විසින් රෝගීන්ට නිර්දේශ කරන ඖෂධය ලබාගත යුත්තේ වෛද්‍ය සැපයීම් අංශයෙනි. එහෙත් ඖෂධ ගෙන්වන සමාගම්වලට මුදල් ගෙවා නෑ. වෙන් කළ ප්‍රතිපාදන ඉවර වෙලා යෑයි පවසමින් වෛද්‍ය  සැපයීම් අංශය අදාළ ඖෂධය ගෙන්වීම ප්‍රමාද කරන බව රෝගීන්ගේ ඥතීහු පවසති.

ඩෙසිටබයින් නමැති එන්නත ඇතැම් පිළිකා රෝගීන්ට දින පහක්‌ අඛණ්‌ඩව ලබාදිය යුතුය. වෛද්‍ය සැපයීම් අංශය විසින් එම එක්‌ එන්නතක්‌ බෙල්ජියමෙන් ගෙන්වන්නේ රුපියල් 196000 කට බවද එම එන්නත ඉන්දියාවෙන් ගෙන්වීමට රුපියල් 120,000 ක්‌ වැය වන බවද සැපයීම් අංශයේ නිලධාරියා ප්‍රකාශ කළේය.

එහෙත් පෞද්ගලික ඖෂධහල් කිහිපයකින් අප කළ විමසීමකදී ඔවුන්ට අදාළ එක්‌ එන්නතක්‌ රුපියල් 40,000 ක මිලකට ගෙන්වා දිය හැකි බව ප්‍රකාශ කළහ.

මෙවන් තත්ත්වයක්‌ මත සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන් මෙම ඖෂධ ගෙන්වීම ප්‍රමාද කරන්නේ කොමිස්‌ මුදල් අපේක්‍ෂාවෙන් බවට සැක මතුවන බව රෝගීහු පවසති.

වෛද්‍යවරයාගේ නිර්දේශය රැගෙන වෛද්‍ය සැපයීම් අංශය වෙත යන රෝගියාට පෞද්ගලික ගොනුවක්‌ සාදන එම අංශය එකී ගොනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යවා අදාළ ඖෂධය නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා සිටී. අමාත්‍යාංශය අනුමැතිය සහිත ගොනුව යළි වෛද්‍ය සැපයීම් අංශය වෙත එවූ පසුව එකී ඖෂධය ඉන්දියාවෙන් හෝ බෙල්ජියමෙන් ගෙන්විය යුතු බව වෛද්‍ය සැපයීම් අංශය ප්‍රකාශ කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා අඩුම තරමින් මාස තුනක හෝ හතරක කාලයක්‌ වැයවන බව වෛද්‍ය සැපයීම් අංශය විසින් පවසයි. එහෙත් ඖෂධය නිර්දේශ කළ වෛද්‍යවරයා අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට නම් වහා ඖෂධය රැගෙන එන්නැයි රෝගියාට හෝ ඥතීන්ට බල කරයි.

මෙම ප්‍රමාදය පිළිබඳ අප වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ දිනකට පිළිකා රෝගීන් තිස්‌පහක්‌ හෝ හතළිහක්‌ ඖෂධ ඉල්ලා අයදුම් කරන බවය. ඒ සියල්ල ගොනු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර අනුමැතිය ඉල්ලා සිටින නමුත් මෙම විෂය පිළිබඳ කටයුතු කිරීමට සිටින්නේ එක්‌ නිලධාරිනියක පමණක්‌ බවය.

එම නිසා මෙම ගොනු සෑදීමටද කාලය ගතවන බව කී හෙතෙම අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන පරිදි අදාළ ඖෂධ විදේශයෙන් ගෙන්වන බවද කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.