වෛද්‍යවරුන් 20 ක්‌ 'විවේක ගන්නා' රෝහලක්‌

අජිත් අලහකෝන්

මධ්‍යම පළාතේ රෝහලක අතිරික්‌ත වෛද්‍යවරුන් විසිදෙනකු නිකරුණේ කාලය ගත කරමින් සිටින අතරේ වෛද්‍යවරුන් නැතැයි පවසමින් එම පළාතේම තවත් රෝහල් පහක්‌ වසා දමා ඇත.

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නොකර මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් නුවරඑළියේ මුංවත්ත සහ අඹේවෙල, මහනුවර සඳසිරි දුනුවිල සහ මාතලේ පල්ලෙවෙල, ලග්ගල පල්ලේගම යන රෝහල් හා වෛද්‍ය මධ්‍යස්‌ථාන වසා දැමීම නිසා එම පළාතේ රෝගීන් අසීරුතාවකට පත්ව ඇත.

මේ බව හෙළිදරව් වූයේ පසුගියදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් සඳහා පැවැති ෙත්‍රෙමාසික සමුළුවේදීය.

වෛද්‍යවරුන් නොමැති නිසා තම පළාතේ රෝහල් පහක්‌ වසා දමන්නට සිදුවූ බව මෙම සමුළුවේදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර ඇත.

එම රෝහල් වසා දැමීමට පෙර වෛද්‍යවරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළේ දැයි ඇමැතිවරයා විමසද්දී එවැනි ඉල්ලීමක්‌ නොකළ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය පැවසූ බවද අමාත්‍යාංශ නිලධාරියෙක්‌ දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නොකර හිතුමතේ රෝහල් වසා දැමීම කළ නොහැකි බව පවසා ඇති ඇමැතිවරයා තමන් දැනුවත්ව එම පළාතේ එක්‌තරා රෝහලක වෛද්‍යවරුන් විසි දෙනෙකුගේ අතිරික්‌තයක්‌ ඇති බවද රාජකාරියක්‌ නොමැතිව එම වෛද්‍යවරු නිකරුණේ කාලය ගත කරන බවද පවසා ඇත.

මින් ඉදිරියට වෛද්‍යවරු නොමැති බව පවසමින් කිසිදු රෝහලක්‌ වසා දැමීමට පියවර නොගත යුතු බවද ඉදිරි මාස දෙක තුළ අලුතින් වෛද්‍යවරු 80 ක්‌ සෞඛ්‍ය සේවයට එක්‌වන බවද පැවසූ ඇමැතිවරයා වසා දමා ඇති රෝහල් පහ විවෘත කිරීමට වහා කටයුතු කරන ලෙසටද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියට නියෝග කළ බව ඉහත නිලධාරීයා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.