මම තරුවක්‌ නෙමෙයි නළුවෙක්‌
-හේමසිරි ලියනගේ

ඒ 1980 වර්ෂයයි. 80 ජුලි වර්ජනය එළඹෙන විට හේමසිරි ලියනගේ හොරණ විද්‍යාරත්නයේ ගුරුවරයෙකි. වාමාංශික අදහස්‌ දැරූ වාම නැඹුරුවක්‌ සහිත තරුණ සිතුවිලිවලින් යුතු හේමසිරි ඡේ. ආර්. ආණ්‌ඩුවට එරෙහිව ''ස්‌ට්‍රයික්‌'' කළේය.

හේමසිරිගේ ගුරු රස්‌සාව නැති විය. හේමසිරිත්, සෞම්‍ය ලියනගේ වැනි කුඩා දරුවනුත් ජීවත් වූයේ බිරිඳගේ පඩියෙනි. හේමසිරි කළේ ගෙදරට වී කුඩා දරුවන් රැක බලා ගැනීමය. එය හේමසිරිගේ ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය විය.

70 මැතිවරණයට පෙර සිටම හේමසිරි වැඩ කළේ රත්නසිරි වික්‍රමනායකයටය. හේමසිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වේදිකාවල හොඳ කථිකයකු විය. අසූවේ ජුලි වර්ජනයෙන් අවුරුදු හතරහමාරක්‌ දුක්‌විඳි හේමසිරිට රත්නසිරි වික්‍රමනායකගේ ගෝලයෙක්‌ පැමිණ රු. 150 ක්‌ බලෙන් මෙන් ඇඟේ ගසා ගියේය.

''මට දේශපාලනය එපාවෙලා හුඟාක්‌ කල්. දේශපාලනඥයෝ බලය භුක්‌ති විඳිනවා. එච්චරයි. මට දේශපාලනය එපා වෙලා නෑ. නමුත් මේ වංචාකාරී දේශපාලනය එපා වෙලා. මම අතාවුද සෙනෙවිරත්න වෙනුවෙන් රුවන්වැල්ලෙදී ගුටිකාල තියෙනවා. වාසුලට, වික්‍රමබාහුලට පයින් ඇවිදල තියෙනවා. ඒ වුණාට අද කොහේද ඒ ගොල්ලේ ඉන්නේ. එදා ගත්තු රු. 150 ඇරෙන්න මම දේශපානලඥයකුගෙන් වෙන කිසිම දෙයක්‌ අරං නෑ. කලාකාරයො ඉන්නෙ දේශපාලඥයන් පිටිපස්‌සෙ යන්න නෙමෙයි. කලාකාරයො යා යුත්තේ සමාජය එක්‌කයි.''

හේමසිරි ලියනගේ නම් නළුවා ගැන ලිවීමේදී මෙවැනි කාරණා අදාළ නැති නමුත් ඔහුගේ වචන මේ සටහන ආරම්භයටම යොදා ගත්තේ ඔහු නිකම්ම නළුවකු ලෙස හැඳින්වීම වරදකැයි සිතුණු හෙයිනි.

හේමසිරි ඉපදුණේ බුලත්සිංහල හාගල්ලේය. ඔහුගේ කලා ජීවිතයට පදනම වැටුණේ ගමේ පාසලෙන් නොවේ. හොරණ විද්‍යාරත්නයෙනි. විද්‍යාරත්නයේදී හේමසිරි චිත්‍ර ඇන්දේය. කවි ලීවේය. ඔහුගේ සිංහල ගුරුවරයා වූ හොරණ වජිරCඳාණ හිමියන් හේමසිරිට දුන් තල්ලුව හොඳ ආරම්භයක්‌ විය. හේමසිරි පාසලේ ජනප්‍රියව සිටියේ කවියකු සහ චිත්‍ර අඳින්නකු ලෙසිනි.

මේ කාලෙ අපට හොඳ ගුරුවරු පිරිසක්‌ ලැබුණා. එයින් එක්‌කෙනෙක්‌ තමයි සතිස්‌චන්ද්‍ර අතුකෝරල,ඊළඟට චන්ද්‍රසේන දසනායක. සතිස්‌චන්ද්‍ර ඉන්දියාවෙන් සංගීතය හදාරපු කෙනෙක්‌. අනිත් අතට 56 න් පස්‌සෙ පේරාදෙණියෙන් පිට වෙච්චි උපාධිධාරි ගුරුවරු පිරිසකුත් විද්‍යාරත්නයට ආවා. ඒ ගොල්ලො පේරාදෙණි නාට්‍ය සාහිත්‍ය ප්‍රබෝධය අරං ආව අය. මේ ගුරු පිරිස එකතුවෙලා නාට්‍ය කළා. මේ අය ඇසුරු කරන්න ලැබීම මට ලොකු පිටිවහලක්‌ වුණා. අනිත් අතට මම රඟපාන්න පුළුවන් ශිෂ්‍යයෙක්‌ විදියට ඒ ගොල්ලො අඳුන ගත්තා. නාට්‍ය කියන දේ මගේ ජීවිතයටම කා වැදුනේ ගුරුවරු නිසා.

මේ අතර උසස්‌ පෙළ සමත් වන හේමසිරි විද්‍යාරත්නයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට තේරෙයිs. ඒ 19..... වසරේදීය. එහිදී ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්‍යාව, භූගෝලය, ඉතිහාසය, විෂයන්ය. විශ්ව විද්‍යාල සමකාලිනයන් වන්නේ සුනන්ද මහේන්ද්‍ර, චන්ද්‍රසිරි පල්ලියගුරු, ඩී. අයි. ජී. ධර්මසේකර වැනි අයවලුන්ය.

1967 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන හේමසිරි ගුරුවරයකු වශයෙන් පත්වීම ලබා එන්නේ ද තමා ඉගෙන ගත් හොරණ විද්‍යාරත්න පිරිවෙණටමය. ඒ නාට්‍ය ගුරුවරයා විදියටය.

ඒ කාලේ ධර්මසිරි බණ්‌ඩාරනායක. ලාල් කුලරත්න, ඩග්ලස්‌ සිරිවර්ධන වගේ අය විද්‍යාරත්නෙ ශිෂ්‍යයො. ඒ ගොල්ලන්ට ආර්ථික විද්‍යාව ඉගෙන්නුව මම.

මම ''සුදු ඇතා'' නාට්‍ය කළේ මේ කාලෙ. ඒකෙන් කතා කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මේ තේමාව ආණ්‌ඩුවට ඇල්ලුවෙ නෑ.අද වගේ තමයි එදත්. ආණ්‌ඩුවට අල්ලන්නෙ නැති නාට්‍යවලට හිරිහැර කරනව. සුදු ඇතා නවත්වන්න ඒ කාලෙ තිබුණු යූඑන්පී ආණ්‌ඩුව හුඟාක්‌ මහන්සි ගත්ත. පත්තරවලින් මට තැනක්‌ දුන්නෙම නෑ. ධර්මසිරිලා රඟපෑම් ජීවිතේ ආරම්භ කළෙත් සුදු ඇතා නාට්‍යයෙන්.

මං ඊට පස්‌සෙ කළේ නරියා සහ කේජු. රාජ්‍ය නාට්‍ය උළෙලේ ඒක හොඳම නාට්‍ය විදියට තේරුණා. අපි තේරුමක්‌ ඇති නාට්‍ය කළේ. අද වගේ විහිලු කළේ නෑ අපි. අපි දේශපාලනය කතා කළේ.

ආර්. ආර්. සමරකෝන්, සයිමන් නවගත්තේගම වැනි නාට්‍යකරුවන් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේද හේමසිරිට සමකාලීනවය.

මෑත යුගයේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්‌ෂකයාට හේමසිරි ලියනගේ පෙනෙන්නේ නළුවකු ලෙස පමණි. නමුත් නාට්‍ය ලෝකයේ ඔහු යෝධ මිනිසෙකි. 70 දශකයේ ඉමහත් ආන්දොලනයකට පත් නරියා සහ කේජු, සුදු ඇතා, චිත්‍රාගේ ප්‍රේමකතාව වැනි නාට්‍ය ඔහුගේ දැවැන්තකම ප්‍රදර්ශනය කරයි.

නරියා සහ කේජු 1978 වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උළෙලේදී තරග වදින්නේ ආර්. ආර්. සමරකෝන්ගේ ඉඩම නාට්‍ය සමගය. ඉඩම එවක රජයේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ මතය සමග යන්නකි. හේමසිරිගේ නරියා සහ කේජු දේශපාලකයා ජනතාව රැවටීම පිළිබඳ තේමාවකි. කලා මණ්‌ඩලය කළේ හේමසිරිටත් සමරකෝන්ටත් සම සමව සම්මාන බෙදීමය. වැඩි වාසි ලැබුණේ සමරකෝන්ටය. සමරකෝන් රාජ්‍ය ශිෂ්‍යත්වයක්‌ ලබමින් ජර්මනියට ගියේය. වසරේ හොඳම නාට්‍ය වූ නරියා සහ කේජු කළ හේමසිරිට ලැබුණේ සම්මානයක්‌ හෙවත් කේජු කැබැල්ලක්‌ පමණි.

''මටත් පිට රටක ඉගෙන ගන්න යන්න ශිෂ්‍යත්වයක්‌ ගන්න තිබුණා. හැබැයි පස්‌සෙන් යන්න ඕන. මම පස්‌සෙන් යන ජාතියෙ මිනිහෙක්‌ නෙමෙයි.

හේමසිරි කීවේ අදටත් තමන්ගේ ස්‌ථාවරය නොවෙනස්‌ බව හඟවමිනි.

''මට ලොකු ඕන කමක්‌ තිබුණා නාට්‍යකාරයෙක්‌ වෙන්න. හොඳ නාට්‍යකාරයෙක්‌ වෙන්න. නමුත් 80 ජුලි ස්‌ට්‍රයික්‌ එක නිසා ඔක්‌කොම නැති වුණා. නාට්‍ය කරන්න නෙමෙයි. ජීවත් වෙන්න සටනක්‌ කරන්නයි මට සිද්ධ වුණේ.

වේදිකා නාට්‍ය ජීවිතය අත්හරින හේමසිරි ටෙලිනාට්‍ය ජීවිතයට එලඹෙන්නේ සිය ගෝල බාලයන් නිසාය.

මම මුලින්ම රඟපෑවෙ ''අඹ යාළුවො ටෙලි නාට්‍යයේ. ඒක කළේ සුදත් දේවප්‍රිය. සුදත් මගේ නාට්‍යවල රඟපෑව ගෝලයෙක්‌. එයා ඇවිත් අඹ යාළුවෝවල රඟපාන්න මට කතා කළා. මං කැමති වුණේ නෑ. ඔය කැමරා ඉස්‌සරහ හරඹ කරන්න මට තේරෙන්නෙ නැහැ කියල මම කිව්ව.

මම රඟපෑවෙ මම දන්න කියන අඳුනන අයගෙ චිත්‍රපටවල ටෙලිනාට්‍යවල.

නමුත් මම වඩාත් තෘප්තිමත් වෙන්නෙ වේදිකා නාට්‍ය ජීවිතයෙන්. අපි නාට්‍යයක රඟපාල ඉවරවෙලා ගියේ බාර් එකට. බාර් එකේදී අපි කතා කළේ නාට්‍ය ගැන. බලාපු කෙටි කතාවක්‌ ගැන. ඒ කාලෙ පළවෙච්ච හොඳම තත්ත්වයේ නවකතාවක්‌ ගැන. බාර් එක අපේ කලා සාහිත්‍ය ඥනය වර්ධනය කරන තැනක්‌ වුණා. අද එහෙම නෙමෙයි. රඟපාපු ගාස්‌තුව දාපු ලියුම් කවරෙ අතට ගත්තු ගමන් නළුවො ගෙදර දුවනවා.

අද නාට්‍යයකට කතා කරහම රිහසල්ස්‌ එන්න කාරෙකක්‌ එවනවද කියල අහන නළු නිළියො ඉන්නව. ඒ වුණාට මේ නළුවො කතා කරන කොට කියන්නෙ තමන් හරි සංවේදියි කියල. ඒ ගොල්ලන්ගෙ සංවේදීකම මහා බොරුවක්‌ මේ කියන සංවේදී කලාකාරයො කන්නෙ බොන්නෙ රටේ ලොකු ලොකු දේශපාලනඥයොත් එක්‌ක. වැඩිපුර ගැවසෙන්නෙ අරලියගහ මන්දිරේ.

අද ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු, රඟපෑම් ගැන ඒතරම් සැලකිලිමත් නෑ. අධ්‍යක්‍ෂවරයාගේ අදහස එළියට එන්නෙ නළුවා හරහා. ඒ නිසා නළුවාගේ රංග කාර්යය ඉතාම වැදගත්. නමුත් අද බොහෝ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු නළුවා වැදගත්කොට සලකන්නෙ නෑ. නළුවා කියන්නෙ දෙබස්‌ කියවන්නකු නෙමෙයි. ඊට වඩා එහා දෙයක්‌ නළුවාගෙන් ගත යුතුයි.

උදාහරණයක්‌ විදියට ඩබ්. ජයසිරි ගනිමු. ඔහු ලොකු දුරක්‌ නළුවෙක්‌. තව ලොකු ලොකු දුරක්‌ යා යුතු නළුවෙක්‌. ඔහු දෙබස්‌ කියන නළුවෙක්‌ නෙමෙයි. ඔහුගේ රංග කාර්යය උකහා ගන්න අධ්‍යක්‍ෂවරයාත් සමත් විය යුතුයි. නමුත් එහෙම වුවමනාවක්‌ බොහෝ අධ්‍යක්‍ෂවරුන්ට නෑ.

මම නළුවෙක්‌ වීමෙන් කිසිම දෙයක්‌ බලාපොරොත්තු නොවන මිනිහෙක්‌. ප්‍රසිද්ධිය අපේක්‍ෂා කළේ නෑ. මම ජැන්ඩියට ඇඳ පැළඳ ගෙන තරුවක්‌ වගේ යන එන කෙනෙක්‌ නෙමෙයි. මම තරුවක්‌ නෙමෙයි. හැබැයි මම නළුවෙක්‌.

හේමසිරි ලියනගේ මේ අවසන් වචන කිහිපය සඳහන් කළේ ආඩම්බරයෙනි.

නළුවෙකු වීමේ කෑදරකමක්‌ මා තුළ තිබුණා. රඟපෑම හොඳ කලාවක්‌. ඒ හොඳ කලාව ආශ්වාදනය කිරීමේ ආශාවක්‌ මා තුළ තිබෙනවා. නමුත් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය පිරිහීම නිසා නළුවාත් පිරිහී යනවා. හොඳ නළුවො දුර්වල ලෙස රඟපානව දකින්න පුළුවන්. ඒක ක්‍ෂේත්‍රයේ පිරිහීම නිසා ඇතිවූ දුර්වලකමක්‌. වෙන එකක්‌ තියා නාට්‍යයට අඳින ඇඳුම් පැළඳුම් පවා අද නළු නිළියො ගෙදරින් අරං යන්න ඕන.

සෞම්‍ය ලියනගේ නමැති දක්‍ෂ තරුණ රංග ශිල්පියා හේමසිරි ලියනගේගේ වැඩිමහල් පුත්‍රයාය. පුතා රංගනයට පිවිසියේ තාත්තා නිසාදැයි අපි ඇසුවෙමු.

රංගන ශිල්පියෙක්‌ බිහිවෙන්න අවශ්‍ය පසුබිම නම් අපේ ගෙදර තිබුණා. අපේ ගෙදර නිතර පොත පත ඇසුරෙ තියෙන ගෙදරක්‌. ගෙදරට මිත්‍රයෙක්‌ ආවත් එන්නෙ ප්‍රයෝජනවත් මිත්‍රයෙක්‌. ඕප දූප කතා කරන අය නෙමෙයි. ඉතිං සෞම්‍ය ජීවත් වුණොත් මේ යහපත් පරිසරයෙ. එයා නාට්‍ය උත්සව චිත්‍රපට උළෙලවල් බලන්න කොළඹ ගියා. සුචරිත ගම්ලත්ගේ දේශන අහන්න ගියා. එහෙම එයා අරං ආපුදේකුත් එක්‌කයි ඉස්‌සරහට ගියේ. මම ජීවිතේ කවදාවත් එයාව රඟපෑමට කාගෙවත් ළඟට එක්‌ක ගිහින් නෑ. ඒ වගේ දේවල් කරන්න මට ලැඡ්ජයි.

අපි බොහෝ දේ කතා කළෙමු. මෙහි සඳහන් වන්නේ එයින් ඉතා ස්‌වල්පයකි. අප සමුගෙන ආවේ අදීන මිනිසකුගෙන් හා හොඳ නළුවකුගෙන් බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ඡායාරූප සමන් රණවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.