හෙළයේ මහා සංස්‌කෘතික මංගල්‍යය

සිරිලක්‌ දීපයට නිසි කල නිසි ලෙස වැසි වැටීම උදෙසාත් භව බෝග සත්ත්ව සම්පත් වලින් රට ස්‌වයංපෝෂිත වීම උදෙසාත් පර සතුරු උවදුරුවලින් රට වැස්‌සෝ සුරක්‍ෂිත වීම උදෙසාත්, පාලකයන් දැහැමි ලෙස රට වැසියන් ආරක්‍ෂා කිරීම උදෙසාත්, සිරි දළදා ආශිවාර්වාදය ලබා ගැනීම වැනි උතුම් පරමාර්ථ පෙරදැරි කර ගනිමින් පවත්වනු ලබන කඳුරට මහා සංස්‌කෘතික මංගල්‍යය හෙවත් මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ අවසන් රන්දොaලි මහ පෙරහැර අති උත්කර්ෂවත් ලෙස ඊයේa පවත්වනු ලැබීය.

හෙළයේ මහා සංස්‌කෘතික මංගල්‍යයක්‌ ලෙස අප අද දකින පෙරහැරට දීර්ඝ ඉතිහාසයක්‌ ඇති බව අපි දනිමු. එය යළි ආවර්ජනය කර ගැනීමද කාලෝචිතයෑයි හැඟේ. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කළ ලෝක සත්වායාගේ සිත සුව පිණිස දෙසා වදාළ සුවාසූ දහසක්‌ ධර්මස්‌කන්ධයේ පහස ලද ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාදීපයට වැඩම කරවන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසිනි. හේමමාලා යනු දඹදිව කාලිංග පුර මුඨසීව රජුගේ දියණියයි. දන්ත කුමරු යනු හේමමාලා කුමරියගේ ස්‌වාමියා වේ. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ රත්‍රන් කරඬුවක්‌ තුළ තැන්පත් කරවා තැබීමට කටයුතු යොදවන ලදී.

ලක්‌දිව පෙරහැර මංගල්‍යය ආරම්භ වූයේ කිත්සිරි මෙවන් රජ දවසය. එනම් ක්‍රි.ව. 310 දීය. කහවනු නව ලක්‍ෂයක්‌ ධනය වැය කොට පැවැත්වූ මෙම පෙරහැර වාර්ෂිකව පවත්වන ලෙස රාජ අණ ලැබිණි. දින අනූවක්‌ තිස්‌සේ මහජනතාවට ප්‍රදර්ශනයෙන් පසු මෙම ප්‍රදර්ශන පෙරහැර ධම්මචක්‌ක වග්ගයේ සිට උභයගිරි විහාරය දක්‌වා පවත්වා ඇත. පැරණි රාජ්‍ය පෙරහැර සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙනි. ඊට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව හිමි විය. රජවරු, රාජ්‍ය නිලධාරීහුද, පෙරහැරේ ගමන් ගත්හ. එසේම ඉඩකඩම් වෙන් කොට දී නිලකරුවන්ද පත්කොට රාජකාරි පවරා දී තිබිණි. පෙරහැර මංගල්‍යයට අවශ්‍ය ධනය රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් වෙන් විය. අද වනතුරුත් ශ්‍රද්ධාවකින් යුක්‌තව දළදා වහන්සේ උදෙසා ආමිසමය පූජාවක්‌ ලෙස චිරාගත සම්ප්‍රදානුකූලව පුද සිරිත් සහිතව මහනුවර ඇසළ පෙරහැර අඛණ්‌ඩව පැවැත්වීම ශ්‍රී ලාංකික අපිට මහත් ගෞරවයක්‌ද ගෙන දෙන්නකි.

වර්තමානයේ පවතින ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි තෙරුන් වහන්සේ සහ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් ගේ ඉල්ලීමක්‌ අනුව ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රජු දවසය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට ශ්‍රී නාථ දේවාලයෙත්, ශ්‍රී විෂ්ණු දේවාලයෙත්, ශ්‍රී කතරගම දේවාලයෙත්, ශ්‍රී පත්තිනි දේවාලයෙත් යන පෙරහැර සතරද එක්‌ විය.

ශ්‍රී දළදා වහන්සේගේ භික්‍ෂු භාරකාරකත්වය මල් වතු අස්‌ගිරි උභය විහාර පාර්ශවයන් හි මහා නායක හිමිපාණන් වෙත පැවරෙන අතර, ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරෙයි. සිරි දළදා සමිඳුන් උදෙසා දිනපතා පුද පූජා පැවැත්වීම ට ඒ සඳහාම විශේෂ සේවක මඬුල්ලක්‌ පත්කර ඇති අතර, එය පෙර රජදවස සිට පැවත එන්නකි. 1815 දී ශ්‍රී ලංකාවම යටත් කර ගත් ඉංග්‍රීසි පාලකයන් දළදා වහන්සේ ආරක්‍ෂා කොට උන් වහන්සේගේ කටයුතු ඉටු කිරීමට සිංහල සේවක මණ්‌ඩලයක්‌ පත්කර තිබේ. එම මණ්‌ඩලය සහ අති පූජ්‍ය මල්වතු අස්‌ගිරි උභය විහාරයන්හි මහා නායක හිමිපාණන් වහන්සේලා දෙනමත් දියවඩන නිලමේතුමාත් උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්‌පත්තුව යන ප්‍රදේශ වල රටේ මහත්වරු හා සිව් මහා දේවාලයන්හි හා සබරගමු මහා සමන් දේවාලයේ බස්‌නායක නිලමේවරුත් අයත් වී තිබිණි. පෙරහැර මංගල්‍යයන්හි ප්‍රධාන අදියර කීපයකට වෙන් කර හඳුනා ගත හැක. එනම් කුඹල් පෙරහැර, රන්දොaලි පෙරහැර, දිය කැපුම් පෙරහැර, දවල් පෙරහැර ආදිය ලෙස දක්‌නට හැකිය. කුඹල් පෙරහැර මංගල්‍යය දින 5 ක්‌ පුරා පවත්වති. කුඹල් පෙරහැර පළමු දිනයේදී දියවඩන නිලමේතුමා ගමන් ගත්හ. ඉන්පසු දින හතරේදී අනුපිළිවෙලට සිව් මහා දේවාලයන්හි බස්‌නායක නිලමේවරුන් ගමන් කරති. කුඹල් පෙරහැර වර්ණවත් බව අඩුය. දැල්වෙන පන්දම් අඩුය. අලි ඇතුන් සංඛ්‍යාවද නැටුම් වාදක ශිල්පීන් සංඛ්‍යාවද අඩුය. රන්දොaලි පෙරහැර මංගල්‍යයද, දින 5 ක්‌ පවත්වයි. සිව් මහා දේවාලයන්හි ගෙන යන දොaලාවන් රන්දොaලි ලෙස හඳුන්වයි. නිලමේවරු ශිල්පීන්ද වැඩිපුර සහභාගි වේ. සේසත් අලි ඇතුන්, පන්දම් සංඛ්‍යාවද වරින්වර වැඩියෙන් දක්‌නට ඇත්තේ රන්දොaලි පෙරහැර වලදීය. අවසන් රන්දොaලි පෙරහැර ඉතා වර්ණවත් එකකි. ඇසළ හෝ නිකිණි පොහෝ දින අවසන් මහා රාත්‍රි පෙරහැරෙන්a පසු ගෙවැදීමෙන් අනතුරුව දිය කැපුම් පෙරහැර ආරම්භ වේ. එය ගැටඹේ තොටට ගොස්‌ දිය කපා, ඝණ දෙවි කෝවිල වෙත පැමිණෙති. එහි සිට දහවල් පෙරහැර ආරම්භ වනතුරු ගෙඩිගේ විහාරයට ගමන් කර මාළිගාවේ පෙරහැර සමඟ එක්‌වී ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී තුන් වරක්‌ පුද කොට ගෙවැදීම සිරිතයි. ලොවක්‌ නරඹන උතුම් මංගල්‍යයක්‌ සංස්‌කෘතික පෙරහැරක්‌ රටට කීර්තියක්‌ ගෞරවයක්‌ එක්‌ කළ මහ කලා මංගල්‍යයක්‌ වෙනුවෙන් පෙළ ගැසී බැති සිතින් එක්‌ වූ සැමට දළදා සමිඳු පිහිට පතමු.

රාජා පුෂ්පකුමාර
මහනුවර හිටපු නගරාධිපති හා
වත්මන් මහ නගර සභා මන්ත්‍රී

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.