නිකිණි මහේ පරවී ගිය සුවඳ හමන කවි මල්



සිංහලයාගේ ජීවය බඳු හෙළ කවි වෘක්‌ෂයෙන් ගිsලිහී ගිය සුවඳැති මල් කොපමණ ඇද්ද? කෙසේ වෙතත් පර වී ගිය මල්වලින් තවමත් සුවඳ හමන වග අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. නිකිණි මගේ එසේ පරවී ගිය කවිමල් ගැන මෙසේ සටහන් කර තබන්නෙමු.

ඩෝල්ටන් අල්විස්‌ (ජීවිතයෙන් සමුගත් දිනය 1987.08.01)

ගාලු දිස්‌ත්‍රික්‌කයේ බෙන්තොට ප්‍රදේශයේ උපත ලද මොහු මීතොටමුල්ලේ යූ. ඒ. ඇස්‌. පෙරේරා (සිරි අයියා) කවියාගේ මග පෙන්වීමෙන් කවි ලෝකයට පිවිසියේය.

බොහෝ විට ජාතිකත්වයෙන් ප්‍රබෝධයට පත් වූ ඩෝල්ටන් අල්විස්‌ නම් අපූරු මිනිසා කවියකු මෙන්ම ප්‍රබුද්ධ ගීත රචකයෙක්‌ ද විය.

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

යශෝ කැලුම් වර ජෝතිය පිනින් උදාරයි



පණ්‌ඩිත් අමරදේවයන් විසින් ගයන එම ගීතය වගේම නන්දා මාලිනියන් ගයන " උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට", රන් දහඩිය බිංදු බිංදු, කවුරුදෝ අර කවුලුවෙන්, එගොඩහ යන්නෝ, ආදී තවත් බොහෝ ගීත රචනා කළ ඩෝල්ටන් අල්විස්‌ කිවිවරයාගේ ගීතවල ජාතික අභිමානය මෙන්ම සාහිත්‍යමය රසයක්‌ දක්‌නට ලැබීම සුවිශේෂී කරුණක්‌ විය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පුස්‌තකාලයාධිපති ලෙසද සේවය කළේය.

සිංහල භාෂාව, සාහිත්‍යය පමණක්‌ නොව, ඉංග්‍රීසි භාෂාව මෙන්ම, ඒ හා බැඳුණු සාහිත්‍යය පිළිබඳවද හසළ දැනුමක්‌ ඩෝල්ටන් අල්විස්‌ කවියාට තිබිණි.

1987 අගෝස්‌තු 01 වැනිදා දෙමටගොඩ කොළොන්නාව නිවසේදී දැයෙන් සමුගත් ඩෝල්ටන් අල්විස්‌ නම් වූ සුන්දර කලාකරුවා හෙළ පද්‍යවලියේ සහ ගීතාවලියේ සදා නොමැකෙන නාමයකි.

"පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා"

ගාල්ලේ ජී. ඇම්. පියදාස (දැයෙන් සමුගත් දිනය 1963.08.11)

ගාල්ලේ හෑගොඩ දී 1927.11.26 වැනිදා මෙලොව එළිය දුටු ජී. ඇම්. ගේ දෙමාපියන් කුඩා අවධියේදීම අහිමි වීම නිසා කරදර බාධක රැසකටම මුහුණ දීමට සිදු විය. මොන බාධක ආවත් අධ්‍යාපනය කඩාකප්පල් නොකරගත් ඔහු කොළඹ පැමිණියේය. කොලොන්නාවේ මිශ්‍ර පාසලෙන් සිංහලද ආනන්ද ශාඛා විදුහලෙන් ඉංග්‍රිසි ද උගත්තේය.

උපතින්ම ගෙන ආ සහජ කුසලතාවක්‌ වූ කවීත්වය නිසාම ළමා පිටියේ සිරි අයියා හෙවත් අධිනීතිඥ යූ. ඒ. ඇස්‌. පෙරේරා හඳුනා ගැනීමට ලැබිණි. ඔහු ගුවන් විදුලියේ ළමා පිටියෙන් ජනප්‍රිය දක්‌ෂයන් රැසක්‌ බිහි කළා මෙන්ම ජී. ඇම්. පියදාස ද ළමා පිටියෙන් ලොවට හඳුන්වා දෙන ලදී.

ජී. ඇම්. පියදාස මිණිපුර ජයසේන සමග ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ විරිදු ගයනා අතිශය ජනප්‍රිය විය.

මා කළ විස්‌කම් හින්දා

කොයි කාගෙත් නුවණ ඇළේ

කොටුවේ ඔර්ලොසු කණුව

මම තනිවයි කෙළින් කළෙ

අපෙ ආච්චි නාන ඇඳුමකින්

සැරසී දුඹුරු පාට

රූ රාජිනි තරගයකින්

තේරුණාය දෙවනියාට

විරිදු, කුසුම් හා මදුරස නමින් පිළිවෙළින් විරිදු සඟරාවක්‌ හා කවි සඟරා දෙකක්‌ පවත්වාගෙන යන ලදී.

හෙද නිලධාරිනියක්‌ සමග විවාහ වූ ජී. ඇම්. පියදාස කිවිවරයාණන් හට දරුවන් තිදෙනෙකි. ලලිත්, අජිත්, අනෝමා යන අයගෙන් පියා මග යන ජී. ඇම්. අජිත් කවියා සිංහල තරුණ කවි සමාජයේ නිර්මාතෘ හා වර්තමානයේත් ලේකම්වරයා මෙන්ම සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයේද ලේකම්ය.

ඉතාමත් අඩු වයසින් රෝගී වූ ජී. ඇම්. පියදාස කවියා 1963 අගෝස්‌තු 11 වැනිදා දැයෙන් සමුගත්තේය.

පී. බී. අල්විස්‌ පෙරේරා ( දිනය දැයෙන් සමුගත් 1966.08.21)

පී. බී. ඡේමිස්‌ පෙරේරා හා බෙන්තර ආරච්චිගේ පොඩි හාමිනේ යුවළට දාව 1917 මාර්තු මස 03 වැනිදා උපත ලද පී. බී. අල්විස්‌ පෙරේරා නම් කිරි කැටියා රටක්‌ අවදි කළ ශ්‍රේෂ්ඨ කවියකු වේ යෑයි දෙමහල්ලන් නොසිතන්නට ඇත.

එවකට බරක්‌දෙණිය නමින් හැදින්වූ කොල්ලුපිටිය මුහන්දිරම් මාවතේ ජන්මලාභය ලැබූ මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පාසලෙන්ය.

මාර්ටින් වික්‍රමසිංහයන් සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා ව සිටින සමයේ ලේක්‌හවුසියට බැඳීම පී. බී. කවියාගේ ජීවන මගෙහි සංධිස්‌ථානයක්‌ විය. "ස්‌වදේශීය මිත්‍රයා" "සිංහල ජාතිය" යන පුවත් පත්වලට ලිපි සම්පාදනය කළ මොහු තවත් තරුණ කිවිවරු කීපදෙනකු එකතු කරගනිමින් වික්‌ටෝරියා උයනේදී " කොළඹ කවි සමාජය" නමින් කාව්‍ය සංවිධානයක්‌ පිහිවූ වූයේය. පසුව එය අගනුවර තරුණ කවි සමාජය බවට පත් විය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන මෙන් ඉල්ලා අගනුවර තරුණ කවි සමාජය දියත් කළ භාෂා සටන මෙහෙයවමින් පී. බී. ලියූ පැදි පෙළක මෙසේ සඳහන් වේ.

සිහල බස්‌ මව බැඳ තබන්නට තවම බටහිර සොහොන මත්තේ

අපේ පාලක පිරිස ගන්නා දුබල තැන් දැන් හෙළිව ඇත්තේ

උරෙන් උරදී සිටින්නට බස්‌ පැනය පිළිබඳ සටන මත්තේ

ඇවිත් නරඹනු මැනවි කවියා කෙසේදැයි අතකසය ගත්තේ

ආධුනික කවි කිවිඳියන් කරලියට ගෙන ඒමට "දේදුන්න" කාව්‍ය සඟරාව මෙන්ම දේදුණු කාව්‍ය විද්‍යාලය කවියන්ට මෙන්ම කවි ඉගෙන ගන්නා රසිකයන්ටද තෝතැන්නක්‌ බඳු විය. පී. බී. අල්විස්‌ පෙරේරා කිවියාණන් විවාහ වූයේ ඉන්ද්‍රd කුමාරනායක සමගය. හිටිවන කවියට අති දක්‍ෂයකු වූ ඔහු සමග කවි පොරපිටියේදී හැප්පෙන්නට සිටියේ කවීන් කීපදෙනකු පමණි. ඉන් ප්‍රමුඛයකු වූ යූ. ඒ. ඇස්‌. පෙරේරා (සිරි අයියා) පී. බී. ගැන මෙසේ ලියා ඇත.

ජීවත් කළේ කවියෙන් සිංහල රටය

කී උපමා ඇතත් ඒවා මිණි කැටය

පාඩුව දැනෙන්නේ රස දත් පිරි සටය

පී. බී. කියන්නේ කවියේ උප තටය

ලක්‍ෂ ගණනින් කවි ලියා හිටිවනම කවි කියා මුළුමහත් ජනතාවක්‌ ප්‍රබෝධමත් කළ මේ මහා කවියා අතින් ලියවුණු සොබාදහම, රන්තලිය, ලුමුම්බා, අනුර සිහිනය වැනි කවි පොත් ජාතියට දායාද කොට 1966 අගෝස්‌තු මස 21 වැනිදා ඔහු සදහටම අපෙන් වෙන් විය.

එච්. ඇම්. කුඩලිගම (දැයෙන් සමුගත් දිනය 1973. 08.21)

1918 දී කළුතර කළුගඟබඩ උපන් කුඩලිගම කවියා කොළඹ යුගයේ දීප්තිමත් කවියෙකි. ගැඹුරින් වියත් ලෙස කවි සාහිත්‍යය පෝෂණය කළ අයෙකි.

සොබා දහම චමත්කාරව දැක විඳිමින් කවි ලියූ කුඩලිගමයන්ගේ අතින් ලියවුණු පොත් අතර "ඈ" සහ " කුණාටුව" සුවිශේෂී තැනක්‌ ගනී.

හේමපාල මුනිදාසයන්ගේ සංස්‌කාරකත්වයෙන් එළිදැක්‌වූ " සිංහල බලය" පුවත්පතේ " යුද්ධයට ගිය අයියාගෙන් නංගීට" යන කවි සංවාදය ඉතා ජනප්‍රිය විය. එහි පබළු මෙන් කවි ලිව්වේ පී. බී. අල්විස්‌ පෙරේරාය. නලනි නමින් ලීවේ කුඩලිගමය.

ඈ සුදු පරෙවියන් රෑනක්‌ ඉදිරි පිට

ඇටයෙන් ඇටය බිම දමමින් තිරිඟු ඇට

සුළඟේ ගීත වත් වන උණ පඳුරු යට

මතකයි හමුවුණා සැන්දෑවකදි මට

කවි කීමට වඩා ලිවීමට ප්‍රිය කළ කුඩලිගම කවි සංවාදවලදී පෙරට පැන්නේ නැත. අගනුවර තරුණ කවි සමාජය සංවිධානය කළ රෙදි - කලිසම් වාදයේ මුලසුන ගත් කුඩලිගමයන්

සුන්දර සොබාවික දේ කොපමණ ඇද්ද

කවියනි කිවිඳියනි හිරිකිතයක්‌ නැද්ද

වාදෙට ඇඳ තිබේ කලිසම හා රෙද්ද

මේ ගැන කුඩලිගමගෙන් නොනැගෙයි සද්ද

ලෙස කීවේය.

දිනක්‌ බටුවන්දර ගුණවර්ධන කවියා ඔහුගේ ඥාතියකුගේ ගෙදරට කුඩලිගම කවියා රැගෙන ගියේ ඔහු කවියට මෙන් කවීන්ව ඉතා ලැදි කෙනෙක්‌ නිසාය. බටුවන්දර කවියාගේ ඥාතියාගේ පියා වියෝ වී ගොස්‌ ටික දිනකි. ඒ ආවේ කුඩලිගම බව දැනගත් ගෙහිමියා ඉමහත් සතුටින් පිරීගොස්‌ කුඩලිගම කවියාව ඉතා වර්ණනා කරමින් කවියක්‌ කීවේය.

එය අසා සිටි කුඩලිගමයන් සිහින් හඬින් මෙසේ කීවේය.

අති වැණුමක්‌ තිබේ කළ හැම වදනකම

මා දැක නොමැත ඔබ දැන් කිවු කුඩලිගම

කඳුළින් සිනහ නංවන මොහොතකට හැම

ඔබ මෙන් පියා නැති අසරණයෙක්‌මි මම

1968 දී අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ලෙස ඉමහත් සේවයක්‌ කවියටත් කවියාටත් ඉටු කළ මේ මහා යුග පුරුෂයා "සිංහල ෂෙලී" ලෙස ප්‍රසිද්ධියට පත් විය.

1973 අගෝස්‌තු මස 21 වැනිදා ඔහු දැයෙන් සමුගත්තේය.

විමලේන්ද්‍ර වතුරේගම (දැයෙන් සමුගත් දිනය 1991.08.21)

1914 නොවැම්බර් මස 12 වැනිදා වැලිතර වැල්ලබඩදී බෝදාහන්දි සාමෙල් සිල්වා සහ එම මැතිනියගේ සය වැනි දරුවා ලෙස මෙලොව එළිය දුටු ඔහු කුඩා කල සිටම කවියට ඇලුම් කළේය.

බුදුගුණ කවි ලිවීමේ සුවිශේෂ දක්‍ෂතාවක්‌ දැක්‌ වූ විමලේන්ද්‍ර වතුරේගම සූරීන්ගේ මුල්ම කවි පොත " ගෞතම ගීතය" යි. ඊට පසුව "නොමැරෙන ආශාව", එක්‌ දවසක්‌ බුදුන් දුටිමි, යන කාව්‍ය සංග්‍රහ කීපයක්‌ ජනතාවට දායාද කළේය. ඔහුගේ ජීවිතයේ එක්‌ සංධිස්‌ථානයක්‌ ව්‍යංගයෙන් කියා පෑ පැදි පෙළක කවියකි මේ.

නිදහස පතා කළ බලවත් සිතැඟි හබේ

අවසන් මොහොත අත ළඟටම එළැඹ තිබේ

මට මේ කැදැල්ලෙන් පලයක්‌ නොවනු ලැබේ

පැනයමි පලායමි සැඟවෙමි ගුවන් ගැබේ

සිංහල, සංස්‌කෘත, පාලි, ඉංග්‍රීසි දැනුමෙන් පෝෂණය වූ මනසින් නිදහසට මෙන්ම මව් බසටද කවියෙන් කළ මෙහෙය විශාලය. 1971 දී අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ධුරයට ද පත් වුණේය.

දවස පුවත්පතෙ ආරම්භයත් සමග පුවත්පත් කලාවට යොමු වූ වතුරේගම කවියාණන් දවස පුවත් පතේ කර්තෘ මණ්‌ඩලයට බැඳිණි. පසුව "ප්‍රියාවි" නම් පුවත්පතේ කතුවරයා බවට පත් විය.

ගීත රචකයකු ලෙසද සිය දස්‌කම් හැකියාවන් දැක්‌ වූ වතුරේගම කවියා අතින් ලියවුණු "ප්‍රඥා ප්‍රදීප දල්වා" යන ගීතය භක්‌ති ගී තරගයේ ප්‍රථම ස්‌ථානය දිනා ගත්තේය.

1983 නොවැම්බර් 23 වැනිදා බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේදී අගනුවර කවි සමාජයේ " අපේ හපන්නු" කාව්‍ය උළෙලේදී කිවිපති අධි සම්මානයෙන් පිදුම් ලැබීය.

1991 අගෝස්‌තු මස 21 වැනිදා සිංහල කවියට කවියන්ට, ජාතියට, භාෂාවට අඳුරු දිනයක්‌ම විය. ප්‍රතිභාපූර්ණ මහා කිවිවරුන් තිදෙනකුම ජාතියට අහිමි වූ දිනයකි. පී. බී. අල්විස්‌ පෙරේරා එච්. එම්. කුඩලිගම සහ විමලේන්ද්‍ර වතුරේගම යන මහා කිවිපතිවරුන් දැයෙන් සමුගත්තේ අගෝස්‌තු 21 වැනිදාවකය.

ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා (දැයෙන් සමුගත් දිනය 1957.08.27)

ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා පැරණි කවි පරපුරේ අවසාන පුරුක නොවෙයි. නව කවි පරපුරේ ආදිම පුරුෂයාය. 1885 පෙබරවාරි මස 07 වැනිදා දකුණු පළාතේ බළපිටියට නුදුරු මහදම්පා ගමේදී මෙලොව එළිය දුටුවේය. ඔහු මාතර කවි යුගය කොළඹ යුගය හා එක්‌ කළ පාලමක්‌ ලෙස හැඳින්විය හැක.

රෝස මලේ නටුවෙ කටූ - වන බඹරෝ ඔහොම හිටූ

යන කවිය යුගයෙන් යුගයට රසවත් වෙමින් අමරණීයව පවතී.

අත දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වා නැළවීමට, සැනසීමට, කෝප ගැන්වීමට, උපහාසයට ලක්‌ කිරීමට, කවි ලිවීමේ හැකියාවක්‌ ජන්මයෙන්ම ලබා තිබිණි.

නවකතා මෙන්ම පරිවර්තනද රාශියක්‌ ලියා ඇති කවියා ශෘංගාරාත්මක රචනා මෙන්ම ජාත්‍යාලය වඩවන වෙනත් රචනාද 30 කට වඩා ලියා ඇත.

ගුරුවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු ව්‍යක්‌ත කථිකයෙකි. ඔහු " උද්‍යානය" පද්‍ය රචනයේ මුල මැද අග එළිසමය පෙන්වා ඇති කවියකි මේ.



ගන කුළුරුවන් ගිර වැසුවන් කෙවුණු පවන්

මග වදිනුවන් දද දැනුවත් කැඩුණු සවන්

මිණි මුතුරුවන් විසිරුනුවන් සෙවුණු වුවන්

සිරි රසනුවන් සන හනුවන් මැවුණු නුවන්

ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා මාදම්පාගම ආනන්ද ධම්ම හිමිපාණන් නමින් පැවිදිව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන මෙන් හඬ නැඟêය.

1957.08.27 දින පිළියන්දල දී රාජකරුණා කවියා ජන්මාන්තරගත විය.

ආනන්ද රාජකරුණා වැනි කවින් පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඔහු ඔහු ගැනම මෙසේ ලියා ඇත.



රටේ නිදහසට කිවු කවි ලක්‍ෂ ගණන්

ජාතික වැඩ තකා කිවු කවි ලක්‍ෂ ගණන්

බුදුගුණ වැයීමට කිවු කවි ලක්‍ෂ ගණන්

රාජකරුණලා නැති මැයි ලක්‍ෂ ගණන්



සටහන - ආසිරි විඡේසේකර
අ. ත. ක. ස නියෝජ්‍ය සභාපති
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.