අයියා - මලෝ ඇතුළුව කොස්‌ගම 5 දෙනකු පැහැරගෙන

චමින්ද සිල්වා සහ කොස්‌ගම - ඒ. ඡේ. ඩී. කුමාර

අවිස්‌සාවේල්ල කොස්‌ගම අරවින්ගම ප්‍රදේශයේ තරුණයන් පස්‌දෙනකු පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ සුදුවෑන් රථයකින් පැමිණි කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධව කොස්‌ගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. පැහැරගෙන ගොස්‌ ඇත්තේ එකම පවුලේ තිදෙනකු සහ ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකි.

පැහැර ගැනීමට ලක්‌වූ තරුණයන් සියලු දෙනා අවුරුදු 19-21 වයස්‌ කාණ්‌ඩයට අයත්ය.

සිද්ධිය සම්බන්ධව ඊයේ සවස්‌ වනතෙක්‌ කිසිදු පැමිණිල්ලක්‌ ඉදිරිපත් නොවූ බව කොස්‌ගම පොලිසිය පවසයි.

මෙම තරුණයන් නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී රාත්‍රි 10.30 ට පමණ දසදෙනකුගෙන් පමණ සමන්විත කණ්‌ඩායමක්‌ නිවසට ඇතුළු වී පස්‌දෙනා පැහැරගෙන ඇත. නිවසට පැමිණි නාඳුනන පිරිස අතර මුහුණ වසා පැමිණි දෙදෙනකුද සිට ඇතැයි ප්‍රදේශවාසියෙක්‌ පැවැසීය.

නිවසට පැමිණි නාඳුනන පිරිස නිවස අසල නවතා තිබූ තරුණයන් සතු යතුරු පැදියක්‌ද රැගෙන ගොස්‌ ගිනිතබා විනාශ කර තරුණයන් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ තිබේ.

පැහැරගත් කණ්‌ඩායම කවුරුන්ද යන්න සෙවීම සඳහා කොස්‌ගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. ඊයේ (21 වැනිදා) සවස්‌ වනතෙක්‌ මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි වූ බව කොස්‌ගම පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.