හැටන් සටන්
දිගම්බරම්ගේ හැටන් පක්‌ෂ කාර්යාල 4කට පහරදෙති
සැකපිට හතරදෙනෙක්‌ අත්අඩංගුවට

චමින්ද සිල්වා, ගාමිණී බණ්‌ඩාර ඉලංගතිලක -
මස්‌කෙළිය, ජයකොඩි රත්නායක

කාර්යාලයට පහරදී ඇති අයුරු.

කම්කරු ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. දිගම්බරම් මහතාගේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පක්‌ෂ කාර්යාලය ඇතුළු කාර්යාල හතරකට පෙරේදා (19 වැනිදා) රාත්‍රි නාඳුනන පිරිසක්‌ විසින් පහරදී දැඩි අලාභ හානි කර ඇත.  මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා තරග වදින ලංකා කම්කරු කොංග්‍රසයේ සහ කම්කරු ජාතික පෙරමුණේ දෙපිරිසක්‌ අතර පෙරේදා සවස හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ඇති වූ ගැටුමෙන් පසු එදිනම රාත්‍රි දිගම්බරම් මහතාගේ පක්‌ෂ කාර්යාලවලට මෙසේ පහරදී ඇත.

නිවස ඉදිරිපිට වාහනයක්‌ පෙරළා දමා තිබූ අයුරු.

දෙසීයකට පමණ පිරිසක්‌ දිගම්බරම් මහතාගේ හැටන් ප්‍රධාන කාර්යාලයට පහරදීමට පැමිණ ඇති අතර තත්ත්වය පාලනය කිරීමට හැටන් පොලිසියේ කැරලි මර්දන ඒකකය එම ස්‌ථානයට පැමිණ අහසට වෙඩි තැබීමෙන් පසු නාඳුනන පිරිස පලාගොස්‌ ඇත.

මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙක්‌ ඊයේ හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් මහතා මෙසේ පැවැසීය.

හැටන් කොටගල ප්‍රදේශයේදී පෙරේදා සවස අපේ ආධාරකරුවන් සිටි වාහනවලට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් විසින් පහරදීම නිසා වාහන 10 කට හානි සිදුවුණා. එදාම රාත්‍රි අපේ හැටන් ප්‍රධාන කාර්යාලයට, නෝර්වුඩ්, බොගවන්තලාව සහ තලවාකැලේ කාර්යාලවලටත් පහරදී තිබෙනවා.

හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය සඳහා තරග වදින සරස්‌වතී සිවගුරු මහත්මියගේ නිවසටත් පෙරේදා පහරදී තිබෙනවා. අපට පහරදෙන පිරිසගේ අපේෂකයන් මැතිවරණයෙන් පරදින බව දන්න නිසයි අපේ අයට පහරදී බිය වද්දන්න හදන්නේ. අපි එන සෑම දෙයකටම මුහුණ දෙනවා.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වෙනත් පක්‌ෂයකට දේශපාලනය කිරීමට නොහැකි තත්ත්වයක්‌ ඇති වෙමින් තියෙනවා. ඒ නිසා පක්‌ෂයේ අය සමගි කිරීමට කටයුතු කළ යුතුයි.

ඡායාරූපය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක - මස්‌කෙළිය


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.