පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේදී පාසලත්
නිවසත් අතර දුර මනින හැටි ගැටලුවක්‌


නිලන්ත මදුරාවල

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පාසලත් නිවසත් අතර දුර මනින ආකාරය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රධාන පෙළේ පාසල්වලට අදාළව ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව තිබේ.

ගෘහමූලික ගණය යටතේ ඉල්ලුම් කරන අයෑදුම්කරුවෝ මෙම ගැටලුවට සෘජුවම මුහුණ දෙති.

උදාහරණයක්‌ ලෙස පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිවරයාගේ කාර්යාලයේ සිට ඇතැම් නිවාසවලට ඇති දුරට වඩා අඩු දුරක්‌ කොට්‌ටාව ආනන්ද විදුහලේ විදුහල්පතිවරයාගේ කාර්යාලයට පවතී. ඒහෙයින් එම නිවසක සිට පන්නිපිටිය ධර්මපාල විදුහලේ පළමු ශ්‍රේණියට අයෑදුම් කරන තැනැත්තකුට කොට්‌ටාව ආනන්ද විදුහල ළග නිසා ලකුණු පහක්‌ කැපී යයි.

නමුත් ධර්මපාල විදුහල් භූමියේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට හෝ මායිමේ සිට දුර මනින්නේ නම් කොට්‌ටාව ආනන්ද විදුහලට වඩා ධර්මපාල විදුහලට ඇති දුර අඩුය. එවිට අයදුම්කරුවන්ට ලකුණු පහක්‌ ඉතිරි කර ගත හැකිය.

ධර්මපාල විදුහල් භූමිය විශාල වීම හා විදුහල්පති කාර්යාලයේ පිහිටීම අනුව මෙම ගැටලු සහගත තත්ත්වය පවතින අතර චක්‍රලේඛයේ මීට අදාළව කිසිවක්‌ සඳහන් නොවීමද බරපතළ තත්ත්වයකි.

එහෙයින් පාසල හා නිවස අතර දුර මැනීමේදී විදුහල් භූමියේ මධ්‍ය ලක්ෂ්‍යය හෝ මායිම හෝ යන එක්‌ නිර්නායකයක්‌ උපයෝගී කර ගත යුතු යෑයි දෙමව්පියෝ පවසති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.