කොළඹ මහ නගර සභාවේ ලේඛන
ගිනි තැබීම ගැන පරීක්‍ෂණ අද අරඹයි

චමින්ද සිල්වා

කොළඹ මහ නගර සභාවේ වටිනා ලියකියවිලි රැසක්‌ ගිනිතබා විනාශ කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (21 වැනිදා) පළාත් පාලන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරයි.

මේ සඳහා බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විඡේතුංග මහත්මියගේ උපදෙස්‌ මත ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරියකු සහ පළාත් පාලන කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු කොළඹ නගර සභාවට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කරන බව පළාත් පාලන කොමසාරිස්‌ චන්ද්‍රdනි සමරකෝන් මහත්මිය ඊයේ (21 වැනිදා) පැවසුවාය.

පසුගිය 17 වැනිදා රාත්‍රී කොළඹ නගර සභාවේ නාගරික ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිවුදෙනකුගේ මැදිහත් වීමෙන් වාහන තුනකින් නගර සභා ලියකියවිලි තොගයක්‌ බොරැල්ල කනත්තට රැගෙන ගොස්‌ ගිනිතබා විනාශ කර තිබුණි. එම ලේඛනවල නගර සභාවේ වටිනා ලියකියවිලි රැසක්‌ තිබූ බවට අභ්‍යන්තර විගණනයකින් හෙළි වීමෙන් පසු සිද්ධියට සම්බන්ධ පළාත් ලේකම් කාර්යාලයේ නිලධාරීහු සිවුදෙනාගේ වැඩ තහනම් කර විධිමත් පරීක්‍ෂණයක්‌ කරන ලෙස පළාත් පාලන කොමසාරිස්‌වරියගෙන් නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා ඉල්ලීමක්‌ කළේය. ඒ අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කරනු ලබයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.