විපක්‍ෂ නායක භාරතීය ජනතා පක්‍ෂ ජාතික සභාපති හමුවෙයි

භාරතීය ජනතා පක්‍ෂයේ ජාතික සභාපති රාජනාත් සිං මහතා මෙරට විපක්‍ෂ නායකවරයා වෙත තිළිණයක්‌ පිරිනැමූ අයුරු. විඡේ ජොලි මහතාද ඡායාරූපයේ සිටී.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයකට සහභාගි වී සිටින විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (`19 දා) නවදිල්ලි නුවරදී භාරතීය ජනතා පක්‍ෂයේ ජාතික සභාපති රාජනාත් සිං මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුවේදී, 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ මෙරට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය මෙන්ම උතුරේ ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන්ද පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.

උතුරේ ධීවර ගැටලුව තමන් අගමැතිව සිටි සමයේද උද්ගත වූ බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා එහෙත් එය එවකට අගමැතිව සිටි අතල් බිහාරි වඡ්පාල් මහතා සමග සාකච්ඡා කොට නිරාකරණය කර ගත් බවද පවසා තිබේ.

ඉන්දියාවේ මීළග මහමැතිවරණය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර අසල්වාසී රාජ්‍යයන් සමග ඉන්දියාවේ සම්බන්ධතා තව තවත් තහවුරු කර ගැනීමේ වැදගත්කම රාජනාත් සිං මහතා මෙහිදී පෙන්වා දී ඇත.

භාරතීය ජනතා පක්‍ෂය සහ එජාපය අතර සම්බන්ධතා ගොඩනැඟීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම හමුවට භාරතීය ජනතා පක්‍ෂයේ විදේශ සම්බන්ධතා කැඳවුම්කරු විඡේජොලි ජාතික ප්‍රකාශක ආචාර්ය සුධන්ශු ත්‍රිවේදී යන මහත්වරුන්ද විපක්‍ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් සමන් අතාවුද හෙට්‌ටි මහතාද සහභාගි වී ඇත.

....

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.