මොනරවිල කැප්පෙටිපොළ ජීවත් වූ හුලංගමුවේ මහ වලව්ව සංරක්‍ෂණය කිරීමට ඇමැති විමල්ගේ අවධානය



මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය අවසාන කාලයේදී ජීවත් වූ දැනට මාතලේ පිහිටි හුලංගමුවේ මහ වලව්ව නමින් හඳුන්වන නිවස එහි පෞරාණිකත්වය රැකෙන අයුරින් සංරක්‌ෂණය කිරීමට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා සමග තමන් සාකච්ඡා කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය. ඇමැතිවරයා මේ අදහස්‌ පළ කළේ ඉකුත්දා මාතලේ දිස්‌ත්‍රික්‌කයේ හුලංගමුව ප්‍රදේශයේ පිහිටි මෙම පෞරාණික වලව්ව නිරීක්‌ෂණය කිරීමෙන් අනතුරුවය.

එවකට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව වර්ෂ 1818 දී සිදුකළ ඌව වෙල්ලස්‌ස නිදහස්‌ අරගලයට නායකත්වය දුන්නේ මොනරවිල දිසාව විසිනි. එහිදී ඉංග්‍රීසින් විසින් එතුමා අල්ලා ගන්නා ලදුව ඉංග්‍රීසි ආණ්‌ඩුවට විරුද්ධව කැරළිගැසීමේ චෝදනාව මත හිස ගසා දමන ලදී.

මොනරවිල නිළමේතුමා විසින් මෙම නිවස භාවිත කොට ඇත්තේ එතුමාගේ අවසාන කාලයේදීය. මෙම නිවස කාමර 14 කින් සමන්විත දෙමහල් ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ලේ ඉහළ මහල දැව භාවිතයෙන් නිමවා තිබීම සුවිශේෂි වේ. වහලය සඳහා සිංහල උළු සෙවිළිකර ඇත.

එමෙන්ම වර්ෂ 1960 කාලය වන විට මෙම නිවස පිහිටි ඉඩම අක්‌කර 3 1/2 ක පමණ විශාලත්වයකින් යුක්‌ත විය. එහෙත් මේ වන විට මෙම ඉඩමෙන් ඉතිරි වී ඇත්තේ පර්චස්‌ 60 කි. මොනරවිල කැප්පෙටිපොළ දිසාව වාසය කරන සමයෙහි අශ්වයින් සහ ඇතුන් ගාල්කර තැබීම සඳහා උපයෝගි කොටගත් අශ්ව හා ඇත් ගාල්වල විශාල ගල් කණු කිහිපයක නටබුන් දැනටමත් මෙම නිවස පිහිටි ඉඩමේ දක්‌නට ලැබේ.

මොනරවිල කැප්පෙටිපොළ දිසාවගෙන් පසු මෙම නිවසේ ඔහුගේ පුත් ලොකු බණ්‌ඩාර මොනරවිල කැප්පෙටිපොළ හා දුනුවිල කුමාරිහාමි යන යුවළ වාසය කළ අතර ඉන්පසු ඔහුගේ පුත් මොනරවිල කැප්පෙටිපොළ දිසාව හා දුනුවිල කුමාරිහාමි දුනුවිල (නිලමේගේ දියණිය) වාසය කර ඇත. ඉන් පසු ඔවුන්ගේ පුත් විලියම් ආම්ස්‌ට්‍රොaන්, මොනරවිල කැප්පෙටිපොළ හා ඔහුගේ බිරිඳ වන ලීලාවතී රත්වත්ත කුමාරිහාමි මෙහි පදිංචි වී ඇත. ඔවුන්ගෙන් පසු එම යුවළගේ පුත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ හා බණ්‌ඩාර මැණිකේ මල්ලිකා රත්නායක යන යුවළ මෙම නිවසේ වාසය කළහ. අද වන විට එහි ජීවත් වන්නේ ඔවුන්ගේ දියණියක්‌ වන ධනංජනී කැප්පෙටිපොළ හා ඇයගේ ස්‌වාමියා වන හුලංගමුව මහතා හා එම යුවළගේ දරු දැරියන්ය. මෙම නිවස වෙත පැමිණි විමල් වීරවංශ ඇමැතිවරයා මෙම නිවසේ දැනට පවතින අඩුපාඩු නිරීක්‌ෂණය කළේය. එහිදී ඇමැතිවරයා දැනට මෙහි පදිංචිව සිටින කැප්පෙටිපොළ දිසාවගේ මිනිබිරියක්‌ වන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මිය හා ඇයගේ ස්‌වාමි පුරුෂයා වන ඩබ්. හුලංගමුව මහතාද හමුවිය.

එහිදී ඔවුන් දෙපළ නිවසේ දැනට පවතින අඩුපාඩු ඇමැතිවරයාගේ අවධානයට යොමුකළ අතර ඔවුන් කියා සිටියේ සිංහල උළු සෙවිළි කළ නිවසේ පැරණි වහල මේ වන විට අබලන් තත්ත්වයේ පසුවන බවයි.

මෙම අවස්‌ථාවට මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන පාලිත ජයසේකර රොෂාන්ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.