විභාග දෙපාර්තමේන්තුවේ අඩුපාඩු
වසා ගැනීමට ශිෂ්‍යත්වයට පෙර තහංචි පැනවූවා

- ලංකා ගුරුසේවා සංගමයේ ලේකම්

චමින්ද සිල්වා

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට දින පහකට පෙර තහංචි පැනවූයේ විභාග දෙපාර්තමේන්තුවේ වැරදි, අඩුපාඩු හා වංචා නැවැත්වීමට අධ්‍යාපන ඇමැතිවරයාට නොහැකිවීම නිසා යෑයි ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (20 දා) පැවැසීය.

ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (25 වැනිදා) පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් දින පහකට පෙර (19 වැනිදා) සිට විභාගය අවසන් වනතුරු සම්මන්ත්‍රණ උපකාරක පන්ති, දේශන, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් කිරීම විභාගයට පෙනී සිටින ලක්‌ෂ තුනක පමණ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකිරීමක්‌ බවද ජයසිංහ මහතා අවධාරණය කර සිටියේය.

මීට පෙර පැවැති ශිෂ්‍යත්ව අ.පො.ස. සා.පෙළ සහ අපොස උ.පෙළ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැටලුවක්‌ බව පැහැදිලි නමුත් එය විභාග දෙපාර්තමේන්තුවේ ගැටලුවක්‌ මිස විභාගවලට පෙනී සිටින දරුවන්ගේ වරදක්‌ නොවන බව ඇමැතිවරයාට නොවැටහීම මවිතයට කරුණක්‌ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම මෙමගින් යම් ආර්ථික හැකියාවක්‌ ඇති සිසුන්ට ඉහළ ගෙවීම් කර පෞද්ගලික ගුරුවරුන් සමග තම නිවසේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙන නමුත් එවැනි හැකියාවක්‌ නොමැති බහුතර සිසුන් පීඩාවට පත්වන බවද ඔහු අවධාරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.