ත්‍රිරෝද රථ යොදාගෙන වැරදි වැඩ කරන
පොලිස්‌  නිලධාරීන්ට නීතිය දැඩි වෙයි


නෝමන් පළිහවඩන

ත්‍රිරෝද රථ රැගෙන නීතියට එරෙහිව ක්‍රියාකරන පොලිස්‌ නිලධාරීන් පිළිබඳව තොරතුරු සොයා බැලීමට එම චෝදනාව නගන ත්‍රිරෝද රථ සංගමයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

නීතිය බාල්දු කරන මෙවැනි පොලිස්‌ නිලධාරීන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කර සේවය තහනම් කරන බව හෙතෙම පැවසීය. පොලිස්‌ නිලධාරීන් ත්‍රිරෝද රථ යොදාගෙන ගණිකාවන් ප්‍රවාහනය කරන බවට නගන චෝදනාව ඉතා බරපතළ බවද මෙවැනි නිලධාරීන්ගේ නම් ගම් තොරතුරු ලබා ගන්නා බවද පොලිසිය කියයි.

ත්‍රිරෝද රථ සංගමයේ නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ කරගෙන යන බවද ඔහු කීවේය.

මේ අතර වැඩ බලන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ත්‍රිරෝද රථ රැගෙන නීති විරෝධී වැඩ කරන පොලිස්‌ නිලධාරීන් පිළිබඳව තොරතුරු ඇතොත් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ත්‍රිරෝද රථ යොදාගෙන වැරදි වැඩ කරන පොලිස්‌ නිලධාරීන් දෙතුන් දෙනකු සිටිය හැකි බවද එම චෝදනාව සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවද ඔහු කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.