ඩී.සී. ඩී. හා බොටියුලිනම් ප්‍රශ්නයේදී
රටට ජනතාවට වගකියන ආහාර පිළිබඳ
නිසි බලධාරියකු මෙරට නොමැති බව තහවුරු කරලා

ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති

ඒමන්ති මාරඹේ

මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල අන්තර්ගතව ඇති බවට ප්‍රකාශයට පත්ව ඇති "ඩී. සී. ඩී." රසායනිකය හා "බොටියුලිනම්" බැක්‌ටීරියාව පිළිබඳ ප්‍රශ්නයේදී රටට හෝ මහජනතාවට වගකියන ආහාර පිළිබඳ නිසි බලධරයකු මෙරට නොමැති බව තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම ප්‍රශ්නයේදී බොරදියේ මාළු බාන නව ප්‍රතිපත්තීන් හා ඒ ඔස්‌සේ මතුවන ජාතික වීරයන්ට වඩා නිවැරැදි ක්‍රමවේදයක්‌ ඔස්‌සේ තම අඩුපාඩු සකස්‌ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතුව ඇතැයි කුමුදේශ් මහතා කීවේය.

පළව ඇති වාර්තාවලට අනුව ආනයනික කිරිපිටි වර්ගවල ඩී සී ඩී රසායනිකය හා "බොටියුලිනම්" බැක්‌ටීරියාව අන්තර්ගතව පවතී නම් අප මෙතෙක්‌ කල් පානය කරන ලද කිරි විෂ නම් වන්දි ගෙවිය යුත්තේ කවුද? නිsසි බලධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇති අප විසින් ආහාරයට ගනු ලබන ආහාරවල තත්ත්වය අපට පිළිගත හැකිද? යන ප්‍රශ්නවලට බලධාරීන් පිළිතුරු සැපයිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා දැනට සිදුකෙරෙන කිරිපිටිවල "බොටියුලිනම්" බැක්‌ටීරියාව ඇත්දැයි සොයාබැලීමේ පරීක්‍ෂණවලදී එම බැක්‌ටීරියාව නැති බවට තහවුරු වුවද එහි අරුමයක්‌ නැතැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපතිවරයා එසේ වූ විට සෞඛ්‍ය බලධාරීන් එකතු වී පාරිභෝගිකයන් දෙලොවක්‌ අතර තබමින් ජාතිය අමතා තම වගකීමෙන් නිදහස්‌ වනු ඇතැයි ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.