ලක්‍ෂ 5ක මැණික්‌ ගල් පාදවල අලවාගෙන
රට පැන්නීමට යද්දී ගුවන්තොටේදී දැලේ


ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

සිය පාදවල අලවාගෙන නීති විරෝධීව සිංගප්පූරුව බලා මැණික්‌ ගල් රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (19 වැනිදා) පස්‌වරුවේ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලදී.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු වන මොහුගේ පාදවල මැණික්‌ගල් සහිත පැකට්‌ 4 ක්‌ අලවා රැගෙන යැමට තැත් කිරීමේදී ඔහුගේ හැසිරීම පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම මැණික්‌ගල් හමුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් මැණික්‌ ගල් කැරට්‌ 102ක බරින් යුක්‌ත බවත් රතු, නිල් හා පුෂ්පරාග මැණික්‌ ඒවායේ තිබූ බවත් කී ලෙස්‌ලි ගාමිණී මහතා මෙම මැණික්‌ ගල් රුපියල් පන්ලක්‍ෂ තිස්‌දහසක්‌ වටින බවද කියා සිටියේය.

මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුනිල් ප්‍රේමරත්න මහතා මැණික්‌ ගල් රාජසන්තක කර අත්අඩංගුවට ගත් පුද්ගලයාට රුපියල් ලක්‍ෂයක දඩයක්‌ නියම කරන ලදී.

සහකාර රේගු අධිකාරි එච්. ඩබ්ලිව්. සී. ශ්‍යාමල් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර රේගු අධිකාරි එම්. ඒ. සී. එම්. රසිඳු මහතා විමර්ශන කටයුතු සිදු කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.